ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අවන්හලක අධික මත්පැන් පානයෙන් වෙරි වූ කාන්තාවන් පිරිසක් එහි සේවකයන් විසින් ඔසවාගෙන ගොස් මහ පාරේ තැබූ සිද්ධියේදී එම අවන්හලට එරෙහිව දඩ නියම කර තිබේ.
සිඩ්නි නගරයේ පිහිටි කොරියානු බී.බී.ක්යු අවන්හලේදී මෙම සිදුවීමට කාන්තාවන් තිදෙනෙකු මුහුණ පා ඇති අතර, සී.සී.ටී.වී දර්ශනවලට අනුව අධික මත්පැන් භාවිතය නිසා වෙරි වූ එක් කාන්තාවක් එහි බිම ඇද වැටී සිටියදී, තවත් කාන්තාවක මේසය මත වැටී සිටින ආකාරය දැකිය හැකිය.
අනතුරුව එම අවන්හලේ කාර්ය මණ්ඩලය හා එම අවස්ථාවේදී අවන්හලේ සිටි තවත් පාරිභෝගිකයන් පිරිසක් එක්ව මොවුන් අවන්හලෙන් පිටත පාරට ගෙනැවින් දමන දර්ශනද සී.සී.ටී.වී ඔස්සේ ලබාගෙන ඇත.
ඔස්ට්‍රේලියානු බලධාරීන්ට අනුව මෙය එරට තුළ මත්පැන් නීතිය ඉතාමත්ම දැඩි ලෙස උල්ලංඝනය කළ අවස්ථාවක් ලෙස සැලකෙන අතර, මෙවැනි සිද්ධියක් වසර ගණනාවකින් වාර්තා වී නොතිබූ බවද සඳහන් වෙයි.
ඔස්ට්‍රේලියාවේ ස්වාධීන සුරා සහ සූදු අධිකාරියේ (ILGA) වාර්තා අනුව මෙසේ අවන්හලෙන් ඉවත් කරන එක් කාන්තාවක එම අවස්ථාවේදී වමනය කිරීමක්ද සිදුකර ඇත.
මෙසේ පාරට දැමුණු කාන්තාවන් අසල මගීන් පිරිසක් ගැවසෙන අවස්ථාවේදී ඒ අසලින් ගිය පොලිස් නිලධාරීන් මොවුන්ට අවශ්‍ය මූලික සෞඛ්‍ය පහසුකම් සලසා තිබේ.
කොරියානු මත්පැන් වර්ගයකින් වීදුරු 8ක් විනාඩි 35ක් වැනි කාලයක් ඇතුළත මෙම අවන්හල විසින් එම කාන්තාවන්ට ලබාදී ඇති අතර, ඔවුන් අධික ලෙස මත්වන බව දැන දැනත් මේ ආකාරයෙන් මත්පැන් නිකුත් කිරීම බරපතළ වරදක් බව අදාළ බලධාරීහු පවසති.
ඔස්ට්‍රේලියාව තුළ යම් අවන්හලක සේවය කරන්නෙකු කිසිවෙකුට මත්පැන් නිකුත් කරන්නේ නම් ඔවුන් මත්ද්‍රව්‍ය වගකීම්සහගත සේවාවේ (RSA) පුහුණුව ලබා තිබිය යුතුය. එහිදී, අධිකව මත්වන පාරිභෝගිකයෙකු සමග ගනුදෙනු කරන්නේ කෙසේද, ඔවුන්ට මත්ද්‍රව්‍ය නිකුත් කිරීම නැවැත්විය යුතු වේලාව කුමක්ද ආදී කරුණු ඉගැන්වෙන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මේ කිසිදු තැකීමක් නොකර කටයුතු කර තිබූ සිඩ්නි නුවර කොරියානු බී.බී.ක්යු අවන්හලට ඔස්ට්‍රේලියානු ඩොලර් 2,200ක (රු.260,000ක පමණ) දඩයමක් නියම කිරීමට බලධාරීන් කටයුතු කර තිබූ අතර, ඉදිරියේදී එම අවන්හල රාත්‍රී කාලයේදී විවෘත කර තබන වේලාවද සීමා කිරීම ඇතුළු තවත් සම්බාධක පැනවෙනු ඇති බවද කියැවෙයි.