අගමැති ගෙදර යැවීම බොහෝ බ්‍රිතාන්‍යයන්ගේද කැමැත්තලු


බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය භූමිකාවෙන් ඉල්ලා අස්විය යුතු බවට එරට ඡන්දදායකයන් බහුතරයකගේ කැමැත්ත බව එරට තුළ සිදුකළ නවතම මත විමසීමකදී හෙළි වී තිබේ.

අන්තර්ජාලය පදනම් කරගත් වෙළෙඳපොළ පර්යේෂණ සහ දත්ත විශ්ලේෂණ සමාගමක් විසින් මෙම මත විමසුම සිදුකරන ලදී.

කොවිඩ් -19 වසංගතයේ උච්චතම අවස්ථාවෙහිදී ඔහුගේම රජය මහජනතාව මත පනවා තිබූ දැඩි සමාජ-දුරස්ථ සීමා කඩ කිරීම නිසා අගමැතිවරයාට දඬුවමක් නොලැබීම ගැන බොහෝදෙනා නොසතුටින් පසුවෙයි.

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 57%ක් ජොන්සන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසන අතර 30%ක් ඔහු එම තනතුරේ සිටිය යුතු බව පවසයි. එසේම 13%ක් ජොන්සන් ඉල්ලා අස්විය යුතුද නැද්ද යන්න නොදන්නා බව ප්‍රකාශ කරන බව මත විමසුම පෙන්වා දෙයි.

පසුගිම මාර්තු 8දා සිදුකළ මත විමසුමකදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 47%ක් ජොන්සන් ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කළ අතර, 16% ක් පිළිතුරු දුන්නේ ඔහු එම භූමිකාවේ රැඳී සිටිය යුතු බවයි. එහිදී ඔහුට ඡන්දය ලබාදුන් අයගෙන් 25%කට වැඩි පිරිසක්ද අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පෙන්වා දී තිබේ. මේ අනුව මාසයක් ගතවන විට අගමැතිවරයාගේ ජනප්‍රියත්වය තවදුරටත් ගිලිහී ඇති බවද මතවිමසුම පෙන්වා දෙයි.

මෙම මතවිමසුමේ තවත් සුවිශේෂී තත්ත්වයක් වන්නේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 75%ක්ම අගමැතිවරයා දැනුවත්ම බොරු කළ බව පිළිගැනීමය.

 



Recommended Articles