UN සේවකයෙකු ඉබෝලා හේතුවෙන් මරුදකී


ජර්මනියේ ලයිප්සිග් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඉබෝලා රෝගය වැළඳුනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වෙයි.

සුඩාන ජාතිකයෙකු ලෙස සඳහන් කළත්, නම හෙළි කර නොමැති මෙම පුද්ගලයා ලයිබීරියාවේ සිට ප්‍රතිකාර සඳහා ලයිප්සිග් නගරයේ විශේෂඥ රෝහලක් වෙත පසුගිය සතියේදී රැගෙන විත් තිබේ.

අතිශය ආරක්ෂා සහිත කාමරයක රඳවා ගනිමින් දැනට ඉබෝලා වෙනුවෙන් ලබාදෙන් ස්මැප් නමැති අත්හදා බැලීමේ ඖෂධ ඔහු වෙත ලබාදුන්නද, ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී තිබේ.

මේ අතර, මෙම තැනැත්තා දැනට ඉබෝලා රෝගයට ජර්මනිය තුළ ප්‍රතිකාර ලබාදෙමින් සිටින පුද්ගලයන් තිදෙනාගෙන් කෙනෙකු බවද කියැවෙයි. මින් එක් රෝගියෙකුගේ තත්ත්වය යහපත් අතට හැරුණත්, අනෙක් තැනැත්තාද අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව කියැවෙයි.

ඇමෙරිකානු ගුවන්තොටුපළවල මෙන්ම, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හීත්‍රෑ ගුවන් තොටුපළෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන මගීන් අතර රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර තිබේ.

මෙහිදී, රෝගය දරුණු ලෙස පැතිර යමින් ඇති බටහිර අප්‍රිකානු රටවල සිට පැමිණෙන මගීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව කියැවෙයි.

 



Recommended Articles