Twitter ගැන අගමැති හා ජනපති අතර මතභේදයක්


අගමැති ටයේප් එර්ඩෝගන් විසින් ප්‍රකාශයට පත් කළ ට්විටර් තහනමක් ජනාධිපති අබ්දුල්ලා ගුල් විසින් අභියෝගයට ලක් කරනු ලැබීමේ මතභේදයක් ගැන තුර්කියෙන් වාර්තා විය.

සියලු සමාජ ජාල සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව පවසමින් ජනාධිපති ගුල් ට්විටර් පණිවුඩයක් මගින්ම ප්‍රකාශය පත්කිරීමත් සමග මෙම මතභේදය හටගෙන තිබේ.

අන්තර්ජාල වෙබ් අඩවියක් කිසිවකුගේ පෞද්ගලිකත්වයට හානි කරන්නේ නම් එවැනි වෙබ් අඩවි පමණක් තහනම් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදි අවධාරණය කර ඇත.

ට්විටර් ජාලය ඔස්සේ අගමැති ටයේප් එර්ඩෝගන් පෞද්ගලික සංවාදවල හඬපට ප්‍රචාරය වීම සහ අගමැතිවරයාට එරෙහි දූෂණ චෝදනා එල්ල වීම හමුවේ, ට්විටර් ජාලය රටින් අතුගා දමන බවට අගමැතිවරයා මීට පෙර ප්‍රතිඥා දුන්නේය.

ඒ අනුව, තුර්කියේ සිට twitter.com වෙබ් අඩවිය විවෘත කිරීමට උත්සාහ කරන විට එය එරට විදුලි සංදේශ නියාමන ආයතනයේ පණිවුඩයක් වෙත යොමු කෙරුණු බව කියවුණි.

නමුත්, බ්‍රහස්පතින්දා රාත්‍රියේ පනවන ලද තහනම නොතකා ට්විටර් ජාලය භාවිත කිරීමට තුර්කියේ ඇතැම් භාවිත කරන්නෝ දැනටමත් සමත්ව ඇති බව එරටින් වාර්තා වෙයි.

ට්විටර්, යනු තුර්කියේ වඩාත් ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවියයි.



Recommended Articles