MH370 සෙවීමේ මෙහෙයුම් සිව් වසරකින් පසු අවසන් වේ


පුද්ගලයන් 239 දෙනෙකු සමග ඉන්දියානු සාගර කලාපයේදී අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සෙවීමේ සෝදිසි මෙහෙයුම් වසර හතරකට පසුව නිල වශයෙන් අවසන් වී තිබේ.

ඉන්දියානු සාගරයේ දකුණුදිග කොටසෙහි ගුඹුරු මුහුදේ දින 90ක කාලයක් පුරා ගැඹුරු මුහුදු පතුල පරීක්ෂණ සබ්මැරීන මගින් සිදුකළ මෙහෙයුම අවසන් වීමත් සමග මෙම යානය සෙවීමේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු මෙසේ නිල වශයෙන් අවසන් වෙයි.

මැලේසියානු රජය පවසා සිටියේ යානය සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකිරීමේ සැලැස්මක් හෝ බලාපොරොත්තුවක් නොමැති බවයි.

2014 මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී මෙම යානය අතුරුදන් වූ අතර, පසුව යානය සොයා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කෙරිණි.

ගුවන්තරණ ඉතිහාසයේ දැවැන්තම ගොඩබිම් සහ මුහුදු පතුල සෝදිසි කිරීමේ මෙහෙයුම ලෙස මෙය ඉතිහාසගත වූ අතර, ඔස්ට්‍රේලියාව, මැලේසියාව, චීනය ආදී රටවල් මෙම මෙහෙයුමේදී පෙරමුණ ගෙන කටයුතු කරනු ලැබිණි.

අවසන් වරට සිදුකළ ගැඹුරු මුහුදු පතුල සෝදිසි කිරීමේ මෙහෙයුම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ඕෂන් ඉන්ෆිනිටි සමාගම කටයුතු කළ අතර, ඔවුන් එම මුහුදු පතුලේ වර්ග කිලෝමීටර් 80,000ක කොටසක කුඩා සබ්මැරීන 8ක් යොදා ගනිමින් නිරීක්ෂණයන් සිදුකරනු ලැබීය.

කෙසේ වෙතත්, මේ වනවිට එම මුහුදු ප්‍රදේශයේ පවතින රළු ස්වභාවය හේතුවෙන් තවදුරටත් එහි සෝදිසි මෙහෙයුමක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බව ඔවුන් පවසන අතර, මෙම මෙහෙයුම සඳහා ඔවුන් සහභාගී වී තිබුණේ යානයේ යම් කොටසක් හමුවුවහොත් පමණක් ඔවුන් වෙත අදාළ ගෙවීම් සිදුකළ යුතුය යන පොරොන්දුව පිටය.

1_MH370



Recommended Articles