MH370 සෙවීමට තවත් වසරක් පමණ ගතවේවිලු


පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370 දරණ මැලේසියානු ගුවන් යානය කඩා වැටුනේ යැයි සැක කෙරෙන ප්‍රදේශය සම්පූර්ණයෙන් නිරීක්ෂණය කිරීමේ මෙහෙයුමක් සඳහා වසරක පමණ කාලයක් ගතවනු ඇති බව යානය සෙවීමේ මෙහෙයුම් භාර කණ්ඩායම පවසයි.

මැලේසියාවේදී මාධ්‍ය ඇමතූ ඔවුන් පෙන්වා දුන්නේ වඩාත් ක්‍රියාකාරී සෝදිසි මෙහෙයුමකින් යානය සොයා ගැනීම අපහසු නොවන බවයි.

ඒ අනුව, ඔස්ට්‍රේලියාව, චීනය හා මැලේසියාව යන රටවල බලධාරීන් ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා නුවරදී මුණ ගැසෙමින් ඉදිරි සෝදිසි මෙහෙයුම් පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් වූ වාර්තාවකින් කියවුනේ යානය අතුරුදන්වීම හා සෝදිසි මෙහෙයුම් ඇරඹීම අතර පැය හතරක කාල පරාසයක් පැවති බවයි.

එමෙන්ම, මැලේසියානු ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නිකුත්කළ වාර්තාවක දැක්වුනේ යානය රේඩාර් තිරයෙන් බැහැරව විනාඩි 17ක කාලයක් යනතුර ගුවන්යානා පාලක මැදිරිය යානයේ අතුරුදන් වීම දැන නොසිටි බවයි.

මැලේසියාවේ ක්වලලාම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබියදී, ගුවන්ගතව පැයක පමණ කාලයකින් පසුගිය මාර්තු මස 8 වැනිදා MH 370 යානය අතුරුදන් විය.

එදා සිට මාස දෙකකට ආසන්න කාලයක් පුරා යානය සෙවීම සඳහා ලොව දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළද තවමත් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට ලොව බලගතුම රටවලටද නොහැකි වී තිබේ.



Recommended Articles