MH370 අතුරුදන් විමට පෙර ගින්නකට හසුවූවාද?


MH370 මැලේසියානු ගුවන් යානය අතුරුදන් වීමට පෙර එය ගින්නකට හසුවූයේද යන්න පිළිබඳව යානය සොයා පරීක්ෂණ සිදුකරන ඔස්ට්‍රේලියානු බලධාරීන් තුළ සැකයක් ඇති වී තිබේ.

මෙම මස මුලදී මැඩගස්කරය ආශ්‍රිතව හමුවූ යානයේ යැයි විශ්වාස කෙරෙන කොටස් කිහිපයක දැකිය හැකි වූ පිළිස්සුම් සලකුණු කිහිපයක් හේතුවෙන් මෙම සැකය ඇති වී තිබේ.

කෙසේ වෙතත්, මෙම කොටස් අතුරුදන් යානයෙන්ම කොටස් දැයි මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, එහි වූ අව පැහැගැන්වුණු පැල්ලම්ද කාලයක් ජලයේ රැඳී තිබූම නිසා ඇති වූ රෙසිනයක්ද, නැත්නම් ගින්නක් හේතුවෙන් ඇති වූවක්ද යන්නත් මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

2014 මාර්තු මාසයේදී MH370 යානය ඉන්දියානු සාගරය ආශ්‍රිතව අතුරුදන් වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 239 දෙනෙකු ගමන් කරමින් සිටියහ.

මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා ගමන් කළ යානයේ වැඩි දෙනා චීන ජාතිකයන් වූ අතර, යානය දකුණුදිග ඉන්දීය සාගරය ආශ්‍රිතව කඩා වැටීමට ඇති බව විශ්වාස කෙරිණි.



Recommended Articles