IS නායක බග්දාදි මරණය තහවුරුයිලු


IS ඉස්ලාම් රාජ්‍යයේ නායක අබුබකර් අල්-බග්දාදි ජීවිතක්ෂයට පත්වූ බව එම ත්‍රස්ත සංවිධානයේ ඉහළ නායකත්වය තහවුරු කළ බව සිරියාව කේන්ද්‍ර කරගත් මානව හිමිකම් සංවිධානයක් පවසා තිබේ.

ඉරාක රජය විසින් මොසුල් හි බලය යළි සියතට ගැනීම ප්‍රකාශයට පත්කිරීමත් සමග ත්‍රස්ත නායකයාගේ මරණයද මෙසේ තහවුරු කෙරුණත්, මෙහි ස්වාධීනව තහවුරු කිරීමක් නොමැති බවද ප්‍රංශ පුවත් සේවය පවසන්නේ මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔහු මරා දැමුණු බව විවිධ පාර්ශ්ව පැවසූ නිසාවෙනි.

කෙසේ වෙතත්, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා සැබෑ ලෙසම ජීවිතක්ෂයට පත්වූයේ නම් ඔහුගේ මරණය ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායමට දරුණු බලපෑමක් ඇති කරනු ඇති බව අවිවාදිතය.

බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ රාමි අබ්දෙල් රහ්මාන් පවසන පරිදි මෙම තොරතුර ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු තහවුරු කර සිටියද, මෙම මරණය කවදා කෙසේ සිදුවූයේද යන්න පිළිබඳව ඔවුන්ට තහවුරු කළ හැකි සාක්ෂි නොමැති බවයි.

සිරියාවේ නැගෙනහිර පළාතේ පිහිටි ඩයර් එසර් පළාතේ ඉස්ලාම් රාජ්‍ය නායකයා විසින් මෙය තහවුරු කර ඇති අතර, එම ප්‍රදේශය තවමත් එම ත්‍රස්ත ග්‍රහණයේ පවතී.



Recommended Articles