IS ඉරාකයෙන් පන්නන්න තවත් මාස තුනක් යාවිලු


IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය ඉරාකයෙන් සහමුලින්ම මුලිනුපුටා දැමීමට තවත් මාස තුනක පමණ කාලයක් ගතවනු ඇති බව ඉරාක අගමැති හයිදර් අබාදි පවසයි.

මොසුල් නගරයේ බලය යළි සියතට ගැනීමේ අරමුණින් ඉරාක හමුදා ඇමෙරිකානු ඒකාබද්ධ සන්ධානයේද සහාය ඇතිව මීට තෙමසකට පමණ පෙර ආරම්භ කළ මෙහෙයුම් මෙතෙක් තවදුරටත් සිදුවෙයි.

කෙසේ වෙතත්, මීට පෙර අගමැතිවරයා පවසා තිබුණේ මොසුල් නගරයේ බලය 2016 වසර අවසන් වීමට අත්පත් කරගැනීමට තම හමුදාවන්ට හැකිවනු ඇති බවයි.

එහිදී, නගර සීමාව දක්වා වූ භූමියේ බලය ශීඝ්‍රයෙන් අල්ලා ගනිමින් ඔවුන් ඉදිරියට ඇදුණත්, නගරය තුළ මෙහෙයුම් එතැන් පටන් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබේ.

ඉරාක අග්‍රාමාත්‍යවරයා මේ ආකාරයෙන් තවත් මාස තුනක කාලයක් ගැන කියා සිටියත්, ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහි ඒකාබද්ධ මෙහෙයුමේ අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ස්ටෙෆන් ටවුන්සෙන්ඩ් පවසා සිටියේ ඉස්ලාම් රාජ්‍යයේ අගනගර ලෙස සැලකෙන ඉරාකයේ මොසුල් හා සිරියාවේ රක්ඛා සම්පූර්ණයෙන්ම තම අණසකට ගැනීමට තවත් වසර දෙකකවත් කාලයක් ගතවනු ඇති බවයි.



Recommended Articles