නැගෙනහිර යුක්රේනයේ හටගෙන තිබෙන අර්බුදය අවසන් කිරීම සඳහා කියෙව් නව පාලනය සමග සාකච්ඡා කරන ලෙස G7 කාර්මික රටවල නායකයන් රුසියාවෙන් උදෙක්ම ඉල්ලා සිටියි.
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පෙන්වා දෙන්නේ පසුගිය සෙනසුරාදා යුක්රේනයේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ පෙට්‍රෝ පෝරෝෂෙන්කෝ පිළිගැනීමට රුසියාව සූදානම් විය යුතු බවයි.
G7 කාර්මික රටවල නායකයන් අවධාරණය කරන්නේ ඔවුන් අනිවාර්යයෙන්ම පෝරෝෂෙන්කෝ පසුපස සිටින බවයි.
මින් අනතුරුව පැරීසියේදී කැමරන් අගමැතිවරයා හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් අතර හමුවක් ප්‍රංශයේ පැරිස් නගරයේදී සිදුවිය.
යුක්රේනය අර්බුදය ආරම්භ වීමෙන් පසු පූටින් ජනාධිපතිවරයා බටහිර නායකයෙකු සමග මුහුණට මුහුණ සාකච්ඡා කළ ප්‍රථම අවස්ථාව මෙය විය.
මෙහිදී කැමරන් පෙන්වා දී ඇත්තේ යුක්රේනය සමග සහයෝගයෙන් කටයුතු කරන රුසියාවක් ඔවුන් බලාපොරොත්තු වන බවයි. යුද්ධය අවසන්ව, මිනිසුන් දේශසීමා තරණය අවසන්ව, වත්මන් අර්බුදකාරී වාතාවරණයට විසඳුම් බලාපොරොත්තු වන බව හෙතෙම පූටින් ජනාධිපතිවරයාට පවසා ඇත.
මේ අතර, රුසියානු නායකයා ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්ඩේ සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විය. නමුත්, ඒ හමුවීමෙන් පසු කිසිදු ප්‍රකාශයක් මාධ්‍ය වෙත දක්වා නොමැත. මේ අතර, හොලන්ඩේ ජනාධිපතිවරයා තවත් ආහාර වේලක් වෙනුවෙන් ඔබාමා හමුවීමටද නියමිතය.