WHO අනුමත එන්නත් ලැබූ අය එක්සත් ජනපදය පිළිගනී


රටට පැමිණෙන ජාත්‍යන්තර අමුත්තන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද කොවිඩ්-19 එන්නත් ලබාගත් අය මින් ඉදිරියට පිළිගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

ඒ අනුව එක්සත් ජනපද නියාමකයින් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී ඇති එන්නත් වර්ග 6ක් ලබාගත් අයට මෙම අවසරය හිමිවන බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රකාශ කරයි.

මීට පෙර පසුගිය සැප්තැම්බර් 20දා ධවල මන්දිරය නිවේදනය කළේ නොවැම්බර් මාසයේදී එක්සත් ජනපදය විසින් චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ යුරෝපයේ බොහෝ රටවල කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත ලබාගත් රටවල් 33ක ගුවන් සංචාරකයින් සඳහා පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරන බවයි.

මේ අතර රොයිටර් පුවත් සේවය වෙත එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හදිසි අවස්ථා භාවිතය සඳහා අනුමත කළ එන්නත් හයක පූර්ණ එන්නත් ලබාගත් අයට එක්සත් ජනපදය වෙත ඇතුළු වීමට අවසරය ලබාදෙමින්, මේ පිළිබඳ ගුවන් සමාගම්ද දැනුවත් කළ බවයි.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය ලැබූ කොව්ඩ්-19 මර්දන එන්නත් හතක් ඇති අතර, ඒවා නම් ෆයිසර්-බයෝඑන්ටෙක්, මොඩෙර්නා, ඔක්ස්ෆර්-ඇස්ට්‍රාසෙනෙකා, කොවිෂීල්ඩ්, සීනොෆාම්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (ජැන්සෙන්) සහ සීනොවැක් (කොරෝනාවැක්) යන එන්නත්ය.



Recommended Articles