යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UNGA) විසින් සම්මත කරන ලද කෙටුම්පත් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සිදුවූයේ ඇයිද යන්න චීනය පැහැදිලි කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද මෙම කෙටුම්පත් යෝජනාව, බෙදිය නොහැකි ආරක්ෂාව පිළිබඳ මූලධර්මයේ වැදගත්කම හෝ දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීමේ සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් වේගවත් කිරීමේ හදිසි අවශ්‍යතාව ඉස්මතු නොකරන්නා සේම, එය ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයට නොගැලපෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
පසුගිය බදාදා සම්මත කරන ලද මෙම යෝජනාව මගින් රුසියාවට, ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා තුළ යුක්රේන භූමියෙන් වහාම, සම්පූර්ණයෙන්ම සහ කොන්දේසි විරහිතව සිය සියලුම හමුදා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටී.
"එක්සත් ජාතීන්ගේ සහ අදාළ පාර්ශ්වයන්ගේ ඕනෑම ක්‍රියාවක් කලාපීය සාමය සහ ස්ථාවරත්වයට සහ සියලු පාර්ශ්වයන්ගේ විශ්වීය ආරක්ෂාවට ප්‍රමුඛත්වය දියයුතු අතර, ගැටුම් උත්සන්න කිරීම වැළැක්වීම සහ රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටුකළ යුතුයි" වැන්ග් පැවසීය.
මෙම කෙටුම්පත් යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ සම්පූර්ණ සාමාජිකත්වය තුළ පූර්ණ උපදේශනවලට ලක් නොවූ බවත්, අර්බුදයේ ඉතිහාසය සහ සංකීර්ණත්වය සම්පූර්ණයෙන් සැලකිල්ලට නොගත් බව ඔහු අවධාරණය කළේය.
යුක්රේන-රුසියානු ආතතීන් සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ස්ථිර, විනිවිද පෙනෙන සහ විවෘත එකක් බව ප්‍රකාශකයා නැවත අවධාරණය කළේය.
"සියලු රටවල ස්වෛරීත්වයට සහ භූමිවල අඛණ්ඩතාවට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අවනතවීමේ මූලික ස්ථාවරය අප දිගු කලක් තිස්සේ දරා සිටිනවා" වැන්ග් පැවසීය.
දැන් ඇති වැදගත්ම ප්‍රශ්නය වන්නේ ආතතීන් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා සංයමයෙන් කටයුතු කිරීම සහ යුද්ධය උද්දීපනය කරන ක්‍රියාවන්ට එරෙහි වීම බව ඔහු පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද මෙම කෙටුම්පත් යෝජනාවට රටවල් 141ක් පක්ෂව ඡන්දය දුන් අතර රටවල් 5ක් (බෙලාරුස්, උතුරු කොරියාව, එරිත්‍රියාව, රුසියාව සහ සිරියාව) විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. එමෙන්ම තවත් රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.