රුසියාවේ ඛනිජතෙල් සම්බන්ධ ප්රමුඛතම රාජ්ය සමාගමක් වන රොස්නෙෆ්ට් විසින් ඉන්දියාවට විශාල බොරතෙල් තොගයක් විකුණා ඇති බව වාර්තා වන අතර, ඇමෙරිකානු හා යුරෝපා සම්බාධකවලට ලක්වූ රටෙන් බලශක්ති ආනයනය ඉහළ නැංවීමට මෙසේ ඉන්දියාව පියවර ගෙන තිබේ.
එහිදී, ඉන්දියාවේ ඉහළම බොරතෙල් පිරිපහදු සමාගම වන ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (IOC) විසින් මෙසේ රුසියානු යූරල් බොරතෙල් ටොන් 700,000ක් මිලදී ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි.
ඒ අනුව, රොස්නෙෆ්ට් විසින් ප්රිමෝර්ස්ක් සහ උස්ට්-ලුගා යන බෝල්ටික් වරායන් වෙතින් ඉන්දියාව දක්වා රැගෙන යාමට මෙම බොරතෙල් තොග පැටවීම සඳහා නෞකා 7ක් මැයි 15දා සිට 31දා දක්වා වෙන් කර ඇති බවද සඳහන් වේ.
යුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයුම දියත් කිරීමෙන් පසු ඉන්දියාවට යූරල් බොරතෙල් නැව්ගත කිරීම ඉහළ ගොස් ඇති බවද ක්ෂේත්රයේ දත්ත පෙන්වා දෙයි. විශේෂයෙන්ම යුක්රේනය සම්බන්ධයෙන් සම්බාධක නිසා රුසියානු අපනයන ආසියාව දෙසට වැඩි වශයෙන් තල්ලු වී ඇත.
එමෙන්ම, මෙම වසර අවසානය තෙක් යූරල් බොරතෙල් ටොන් මිලියන 2ක් දක්වා ලබාගැනීමට රොස්නෙෆ්ට් සහ ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (IOC) ගිවිසුම්ගත වී ඇති අතර, මෙම ගිවිසුම යටතේද නොවොරොස්සියෙස්ක් වරායේ සිට කළු මුහුද හරහා දැනටමත් ඉන්ධන තොග ලබාගෙන ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමේදී දැනට වෙළෙඳපොළේ පවතින මිලට වඩා වට්ටම් මිල ගණන් යටතේ බොරතෙල් ලබාගැනීමට ඉන්දියාව සාකච්ඡා කර තිබූ බවද මීට පෙර වාර්තා විය.