9/11 මියගිය අයගේ හඳුනා නොගත් සිරුරු කොටස් නව කෞතුකාගාරයට


2001 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා, ඇමෙරිකාවේ නිව්යෝක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය, හඳුනා නොගත් සිරුරු කොටස් දහස් ගණනක් පෙර පැවති ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත නැවත ගෙන එනු ලැබූ බව වාර්තා වෙයි.

මෙසේ සිරුරු කොටස් නැවත ගෙන ඒමට හේතුව මෙම මස අවසානයේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට නියමිත නව කෞතුකාගාර පරිශ්‍රයේ බිම් මහලට යටින් එම සිරුරු කොටස් තැන්පත් කිරීමට බව කියැවෙයි.

ඒ අනුව, පසුගිය සෙනසුරාදා මියගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් සහිත මංජුසා රැගත් නගර ආරක්ෂක රථ තුනකින් සමන්විත වූ රථ පෙළ නිව්යෝක් වෛද්‍ය පර්යේෂණ ආයතන කාර්යාලයේ සිට ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බිම් මහල වෙත ගමන්කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එහිදී, සිරුරු කොටස් රැගත් රථ පෙළට ආරක්ෂාව සලසමින් ගිණි නිවීමේ හමුදාවේ සහ පොලිස් නිල රථ ආරක්ෂක පහන් පමණක් දල්වා නිහඬව රථ පෙළ සමගින් ගමන් ගත් බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එදා ප්‍රහාරයට ලක් වූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පිහිටි භූමිය, අනුස්මරණ හා කෞතුකාගාර පරිශ්‍රයක් බවට පරිවර්තනය කොට ඇති අතර, ඇමෙරිකානු ධජයෙන් ආවරණය කරන ලද මංජුසා ත්‍රිත්වය ගිණි නිවීමේ භටයින් 12දෙනෙකුගේ ආචාරය මැද ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ බිම් මහල වෙත ගෙන එන ලැබූ බව කියැවෙයි.

ඒ බිහිසුණු ප්‍රහාරයෙන් පසු ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බිම් මහලේ සිට අතුරුදන් වූ බවට සැක කෙරෙන 2,753 දෙනෙකු අතරින් 40%  වඩා වැඩි පිරිසකගේ සිරුරු හඳුනා ගැනීමට නිලධාරීන් සමත්ව තිබූ බවද විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කරයි.

 



Recommended Articles