ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේදී ජීවිත 80ක් බිලිගනිමින් පුපුරාගිය බෝම්බය වතුර බවුසරයක හෝ ලොරියක රැගෙන එන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
කාබුල් අගනුවර, තානාපති නිවාස රැසක් පවතින අධි ආරක්ෂිත කලාපයක මෙම බෝම්බය පුපුරාගිය අතර, මින් තුවාල ලැබූ පිරිස 350 ඉක්මවන බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙහි ජීවිත අහිමි වූ බහුතරය සාමාන්‍ය ඇෆ්ගනිස්ථාන ජනතාව බවද එම වාර්තා පෙන්වා දෙයි.
ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බැහැර කළද, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති බවද කියැවෙයි.
නමුත්, පසුගිය කාලය පුරාවට ඇෆ්ගිනස්ථානය පුරා පුපුරාගිය බෝම්බ ප්‍රහාර සඳහා මෙම කණ්ඩායම් දෙකම වගකිවු බව නොරහසකි.
එරට වේලාවෙන් උදෑසන 8.25 ට පමණ (ග්‍රිනීච් වේලාවෙන් පෙ.ව.3.55 ට) මෙම බෝම්බය පුපුරා ගොස් තිබේ.
බෝම්බ ප්‍රහාරය සිදුවූ මෙම අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයට ආසන්නයෙන් බෝම්බය පුපුරා ගියත් එය ජර්මානු තානාපති කාර්යාලය ඉලක්ක කරමින් රැගෙන ආ බෝම්බයක්ද යන්න තවමත් පැහැදිලි නොමැති අතර, බෝම්බයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට හානියක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.