ඇමෙරිකානු කටාර් ගිවිසුම ප්‍රමාණවත් නෑ - අරාබිය


ත්‍රස්තවාදයට මූල්‍යාධාර සැපයීමට එරෙහිව සටන් වදින්නේ යැයි පවසමින් වොෂිංටනය හා දෝහා අතර ගිවිසුමක් ඇති වුවද, කටාරයට එරෙහි සම්බාධක අත්නොහරින බව ඔවුන් සමග සියලු සබඳතා අත්හැරි අරාබි රාජ්‍යයන් අවධාරණය කරයි.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන මෙම ප්‍රමුඛ අරාබි රාජ්‍යයන් පවසා සිටියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සමග කටාරය ඇති කරගත් ගිවිසුම ඔවුන් වෙත පැනවූ සම්බාධක ඉවත්කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

මීට පෙර වූ එකඟතා කිහිපයක්ම ගෙනහැර දක්වමින් කටාරය කිසිසේත්ම විශ්වාස කළ නොහැකි රාජ්‍යයක් බව මෙම රාජ්‍යයන් පෙන්වා දෙයි.

මෙහිදී, මෙම අරාබි රාජ්‍යයන් හතර විසින් කටාරය වෙත චෝදනා කළේ ඔවුන් කලාපයේ ඉස්ලාමීය මූලධර්මවාදයට අරමුදල් සපයන බව පවසමිනි. ඒ අනුව, කටාරය සමග පැවති සියලු රාජතාන්ත්‍රික, ආර්ථික, ගුවන් හා නාවික සබඳතා අත්හැරීමට මෙම රාජ්‍යයන් හතර කටයුතු කරන්නට විය. කෙසේ වෙතත්, මෙම චෝදනාව කටාරය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.

අනතුරුව, කටාරය වෙත විශේෂ ඉල්ලීම් 13ක් යොමු කරමින්, ඔවුන් ඊට නැඹුරු වන්නේ නම් යළිත් කටාරය සමග සපුරුදු සබඳතා ඇතිකර ගත හැකි බවද ඔවුහු පැවසූහ. කටාරය තුළ පවතින අල්-ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම, තුර්කි හමුදා කඳවුර වසා දැමීම, මුස්ලිම් සහෝදරත්වය සහ ඉරානය සමග පවතින සබඳතා අත්හැරීම ඔවුන් ලබාදුන් ඉල්ලීම් අතර විය.

කෙසේ වෙතත්, මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් කටාරායෙන් සෘණාත්මක ප්‍රතිචාරයක් ලැබීම තුළ ඔවුන්ට එරෙහිව තවදුරටත් දේශපාලන, අර්ථික සහ නෛතික සම්බාධක පැනවීමට කටයුතු කරන බව මෙම අරාබි රාජ්‍යයන් අවධාරණය කර තිබුණි.



Recommended Articles