චීනය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, රුසියාව සහ ඉන්දියාව යන BRICS රටවල විද්‍යාඥයෝ වීඩියෝ සංසදයක් පවත්වමින්, තිරසාර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් ඔවුන්ට කළ හැකි දේ සාකච්ඡා කළහ.
"අපි මේ සංසදය කැඳවන්නේ BRICS විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අදාළ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සඳහා දැනුම, තාක්ෂණය සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා වැදගත් වේදිකාවක් පිහිටුවීම සඳහායි" චීන විද්‍යා ඇකඩමියේ උප සභාපති සැන්ග් යැපින්ග් පැවසීය.
එහිදී, 400 පමණ සහභාගි වූවන් පාරිසරික අභියෝග, ආහාර සුරක්ෂිතතාව සහ බලශක්තිය ආමන්ත්‍රණය කිරීම සඳහා 'බිග් ඩේටා' භාවිතය පිළිබඳව සාකච්ඡා කළහ.
"අපි ඇමසන් වනාන්තරයේ විනාශය ගැන, දේශගුණික විපර්යාස ගැන සාකච්ඡා කරනවා. අපේ බලාපොරොත්තුව බලපෑම් කිරීම, මිනිසුන්ට මෙම ගැටලු ගැන සිතීමට සහ විද්‍යාවේ සහාය ඇතිව මෙම ගැටලු විසඳීමට ඔවුන්ට උපකාර කිරීමයි" බ්‍රසීලියානු විද්‍යා ඇකඩමියේ සභාපති ලුයිස් ඩේවිඩොවිච් පැවසීය.
සංසදය අතරතුර, චීන විද්‍යා ඇකඩමිය ක්ෂේත්‍ර හතරක් ආවරණය වන පරිදි දත්ත නිකුත් කළේය. නාගරික තිරසාර සංවර්ධනය, ජලය බෙදා හැරීම, නාගරික ඉදිකිරීම් සහ වනාන්තර ඒ අතර වෙයි.
"මෙම දත්ත ක්ෂේත්‍ර හතර BRICS රටවලට මෙන්ම ලොව පුරා සිටින පරිශීලකයින්ට ප්‍රයෝජනවත් වනු ඇති. තවද මෙය ඉතා වැදගත් දෙයක් යැයි අපි සිතනවා." තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා විශාල දත්ත පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ග්වෝ හුවාඩොන්ග් පැවසීය.
මේ සඳහා මානව ක්‍රියාකාරකම් සහ පරිසරය අතර අන්තර්ක්‍රියා පිළිබඳ දත්ත සැපයීම සඳහා චීනය පසුගිය නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ලොව ප්‍රථම විද්‍යා චන්ද්‍රිකාව දියත් කළේය. චන්ද්‍රිකාවේ පළමු වැනි ඡායාරූප එකතුව පසුගිය වසර අගදී නිකුත් විය. දැන්, එය කක්ෂයේ තවදුරටත් පරීක්ෂණ කරමින් පවතින අතර තවත් තොරතුරු පෘථිවිය වෙත එවනු ඇත.
"අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 වෙත දත්ත සැපයීමට පටන් ගන්නවා. චන්ද්‍රිකාව හොඳින් ක්‍රියාත්මක වන අතර එයට විශාල විභවයක් ඇතැයි මා සිතනවා." ග්වෝ පැවසීය.