2021 අවසානයේ චීනය ප්‍රජා ප්‍රතිශක්තිකරණය ලබනවාලු


2021 වසර අවසානය වනවිට චීනය කොවිඩ්-19 ට එරෙහිව 80%ක එන්නත් ආවරණයක් ලබාගෙන ප්‍රජා ප්‍රතිශක්තිය කරා ළඟාවීමට බලාපොරොත්තු වන බව එරට වසංගත හා ශ්වසන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන ෂොං නන්ෂාන් සම්මන්ත්‍රණයක් අමතමින් පවසා සිටියේය.

එහිදී මෙම ප්‍රජා ප්‍රතිශක්තිය ලබා ගැනීම එන්නතවල කාර්යක්ෂමතාව සහ වෛරස් සම්ප්‍රේෂණය වීමේ හැකියාව මත රඳා පවතින බවද ඔහු පැවසීය.

"චීනය විසින් නිපදවන ලද එන්නත්වල ඵලදායීතාව 70%ක් පමණ වන බැවින් ප්‍රජා ප්‍රතිශක්තිය ස්ථාපිත කිරීමට පෙර ජනගහනයෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් එන්නත් කිරීම රටට අවශ්‍ය වනු ඇති. චීනය එම ඉලක්කය කරා 2021 අවසානයේදී ළඟා වන විට බලාපොරොත්තු වෙනවා." ෂොං පැවසීය.

කෙසේ වෙතත් ලොව පුරා ප්‍රජා ප්‍රතිශක්තිය ගොඩනැගීම සඳහා අවම වශයෙන් අවුරුදු දෙක තුනක ගෝලීය සහයෝගීතාවක් අවශ්‍ය බවද ඔහු පැවසීය.

ප්‍රවීණයන් පවසන්නේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් (ප්‍රජාවක්) රෝගයකට ගොදුරු වීමෙන්ද ප්‍රතිශක්තිකරණය ඇති වන අතර, එමගින්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට එය ව්‍යාප්ත විය නොහැකි බවයි.

චීන එන්නත්වල ඵලදායීතාව

මැයි මාසයේදී කොවිඩ්-19 පැතිරීම ගැන අවධානය යොමු කළ ගුවාංෂෝ හි මෑත කාලීන රසායනාගාර අධ්‍යයනයන් උපුටා දක්වමින් ෂොං කියා සිටියේ කාර්යක්ෂමතාව සුළු වශයෙන් අඩු වීමක් පෙන්නුම් කළත්, චීන එන්නත් තවමත් ඉතා ඵලදායී එන්නත් බවයි.

එන්නත් කළ හා නොකළ රෝගීන් සංසන්දනය කිරීමෙන්, අගෝස්තු 14 වැනි දින ප්‍රකාශයට පත්වූ අධ්‍යයනයක් උපුටා දක්වමින් ෂොං පවසා සිටියේ, එන්නත්වල සමස්ත ආරක්ෂාව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමට එරෙහිව 60%කත්, මධ්‍යස්ථ රෝග ලක්ෂණයන්ට එරෙහිව 70%කත්, දරුණු අවස්ථාවලට පත්වීමට එරෙහිව 100%කත් ඉහළ අගයක් ගන්නා බවයි. ෂොං පැවසීය.

එමෙන්ම චිලී රාජ්‍යයේ සහ තුර්කියේ සිදුකළ සැබෑ ලෝකයේ අධ්‍යයනයන්ද ඔහු උපුටා දැක්වූ අතර, එහිදී චීනයේ නිෂ්පාදිත අක්‍රිය එන්නත් ආරක්ෂිත සහ ඵලදායී බව පෙන්වා ඇතැයි සඳහන් කළේය.

බූස්ටර් මාත්‍රාවක අවශ්‍යතාව

ලොව ඉහළම එන්නත් අනුපාතිකය ඇති ඊශ්‍රායලයේ මූලික අධ්‍යයනවලින් සොයාගත් පරිදි මාස 6කට පමණ පසු ෆයිසර් එන්නතේ කාර්යක්ෂමතාව 95% සිට 39^ දක්වා අඩු වූ බව සොං පැවසීය. එක්සත් ජනපදයද අගෝස්තු මාසයේදී තහවුරු කරන ලද ආසාදන වැඩිවීමක් දුටු අතර, එන්නත ලබා දීමෙන් මාස 6කට පසු කොවිඩ්-19 එන්නත්වල ආරක්ෂක අනුපාතය සාමාන්‍යයෙන් අඩු වන බව යෝජනා කළේය.

"අක්‍රිය සහ mRNA එන්නත් යන දෙක සඳහාම, එන්නත ලබා මාස 6කට පසු ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණා" ෂොං පැවසුවේ මාත්‍රා දෙකක් ලබා දී මාස 6කට පසු තුන්වැනි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාවේ බලපෑම පරීක්ෂා කිරීම ඇතුළුව එන්නත්වල ප්‍රතිශක්තිකරණ බලපෑම ශක්තිමත් කරන්නේ කෙසේදැයි විවිධ රටවල් ගවේෂණය කරමින් සිටින බවයි.

නවතම දේශීය පර්යේෂණ දත්ත උපුටා දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රතිදේහ මට්ටම බූස්ටර මාත්‍රාව සමග දස ගුණයකටත් වඩා වැඩි වූ අතර, තවත් මාස 6ක් පමණ සාපේක්ෂව ඉහළ මට්ටමක ප්‍රතිශක්තිකරණයක් පැවති බවයි.

"ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා එය ඉතා බලාපොරොත්තු තැබිය හැකි ක්‍රමයක් සේ පෙනෙනවා. විදේශ රටවල mRNA බූස්ටර් එන්නත ලබාදීමෙන් පසු ප්‍රතිශක්තිකරණ මට්ටම පිළිබඳව දැනට දත්ත නැහැ. ඒ වගේම චීනයේද බූස්ටර් මාත්‍රාවන් ගැන තවම සැබෑ ලෝකයේ දත්ත නොමැති බැවින්, ඒවා සනාථ කිරීම සඳහා තවදුරටත් සාක්ෂි අවශ්‍ය වෙනවා" ෂොං වැඩිදුරටත් පැවසීය.



Recommended Articles