එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් පවසා ඇත්තේ 2020 ධවල මන්දිර තරගයේ ඩිමොක්‍රටික් අපේක්ෂිකාවක් සැරසීමට රුසියාව කටයුතු කරමින් සිටින බවයි.
ඇය චෝදනා කරන්නේ, ලිබරල් ඡන්දදායකයින් බෙදීමටත්, ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීමට උදව් කිරීම සඳහාත් තුන්වන පාර්ශ්වීය අපේක්ෂකයෙකු ලෙස තරඟවැදීමට ක්‍රෙම්ලිනයට අවශ්‍ය බවයි.
ක්ලින්ටන් මෙම අපේක්ෂකයා නම් නොකළ නමුත් ඇය ඉඟි පළ කරන්නේ හවායි කොංග්‍රස් සභික තුල්සි ගැබාර්ඩ් වෙත බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, හිලරි ක්ලින්ටන් විසින් නඟන මෙම චෝදනාව බියගුළු චෝදනාවක් බව ගැබාර්ඩ් පවසා තිබේ.
ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන හිලරි ක්ලින්ටන් මෙම අදහස් දක්වා ඇත්තේ ඔබාමාගේ උපදේශකයෙකු වූ ඩේවිඩ් ප්ලූෆ් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, ක්‍රෙම්ලීනය විසින් දැනට ඩිමොක්‍රටික් පක්ෂයේ බිම් මට්ටමේ සිටින අපේක්ෂකයෙකු, තෙවැනි පාර්ශ්වීය අපේක්ෂිකාව ලෙස සරසමින් ඉදිරියට දමන බවය.