2013 දී ඇෆ්ගන් සාමාන්‍ය වැසියන්ගේ මරණ ඉහළට


ඇෆ්ගනිස්තාන යුද්ධය හේතුවෙන් මියගිය සාමාන්‍ය වැසියන්ගේ ගණන පසුගිය වසර තුළ 14% කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2013 වසරේදී ඇෆ්ගනිස්තාන සාමාන්‍ය වැසියන් 3,000 කට ආසන්න පිරිසක් මරණයට පත්ව, තවත් 5,600 ක් පමණ ගැටුම් හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි.

එමෙන්ම, විදේශීය හමුදා ක්‍රමයෙන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වෙමින් එරට හමුදාවට ආරක්ෂාව භාරදෙන විට සටන්කාමීන්ගේ ප්‍රහාර වැඩිවී ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ගොඩබිම් ප්‍රහාරවලදී කාන්තාවන් හා ළමයින් වැඩි වශයෙන් මීට ගොදුරුව ඇති බවද කියැවෙයි. ඒ අනුව, 2012 වසර සමග සැසඳීමේදී ළමා හා කාන්තා මරණ පිළිවෙළින් 34% කින් හා 36% කින් වැඩිවී ඇති බවද එක්සත් ජාතීන්ගේ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙසේ මියගිය වැඩි පිරිසක් තලේබාන් ඇතුළු කැරලිකරුවන් විසින් මාර්ග අද්දර අටවන ලද බෝම්බවලට ගොදුරු වී ඇති බවද, ජාත්‍යන්තර හමුදා එල්ල කළ ප්‍රහාරවලට ගොදුරු වූ සාමාන්‍ය වැසියන්ගේ ප්‍රතිශතය 3% ක් බවද එම වාර්තාව පෙන්වා දෙයි.

 



Recommended Articles