ෆේස්බුක් පරිශීලක දත්ත තෙවැනි පාර්ශ්වයක් අතට පත්වෙමින් එම දත්ත අවභාවිත වීමේ සිදුවීමට මුහුණදුන් පරිශීලකයන් මිලියන 87 අතර ඔබත් සිටින්නේද යන්න දැනගැනීමට ෆේස්බුක් ආයතනය අවස්ථාව ලබාදී තිබේ.
ඒ අනුව, කේම්බ්‍රිජ් ඇනලටිකා විසින් ෆේස්බුක් දත්ත අවභාවිත කරමින් එකී දත්ත ලබාගෙන තිබූ මිලියන 87ක් වූ පරිශීලකයන් අතර ඔබත් සිටින්නේද, නැද්ද යන්න දැක්වෙන විශේෂ නිවේදන දෙකක් ෆේස්බුක් සමාජ ජාලය විසින් මේ වනවිට හුවමාරු කරමින් සිටියි.
එහිදී, ඔවුන් විසින් මෙම දත්ත ලබාගැනීමට යොදාගෙන තිබූ ඇප් වැඩසටහන් මෙන්ම, එම ඇප් වැඩසටහන් හරහා ඔවුන් ලබාගෙන ඇති දත්ත පිළිබඳවද සිය ෆේස්බුක් පරිශීලකයන් දැනුම්වත් කිරීමට ෆේස්බුක් සමාජ ජාලය කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම දත්ත අවභාවිතය හේතුවෙන් මේ වනවිට ෆේස්බුක් සම්බන්ධයෙන් මෙන්ම, එහි දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙන අතර, එය සමාගමේ දැවැන්ත පසුබෑමකටද හේතු වී තිබේ.