හෝකින්ගේ අභාවය නිසා වැඩිම වැලපීම චීනයෙන්ලු


මෑත ඉතිහාසයේ ලොව ජීවත් වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකෙන ස්ටීවන් හෝකින්ගේ අභාවය සම්බන්ධයෙන් ලොව වැඩියෙන්ම වැලපෙන ජාතිය චීනය බවට පත්වන තරමටම එරටින් ඔහු වෙනුවෙන් ශෝක පණිවුඩ ගලා එයි.

චීනයේ විද්‍යාඥයන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ චීන රජය මෙන්ම එරට ජනප්‍රිය තාරකාවන්ද හෝකින්ගේ මරණය සම්බන්ධයෙන් දැඩි කම්පනයකට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

"ඔහු විශ්වය පුරා, එහි මන්දාකිණි අතරින් නිදහසේ ගමන් කරාවි. අවසානයේ ඔහු විශ්වයේ වඩාත් දීප්තිමත්ම තාරකාවක් බවට පත්වේවි." මේ ඔහුගේ වියෝවෙන් ශෝක වන චීනයේ වෙයිබෝ සමාජජාලය වෙත එකතු වූ අදහසකි.

තවත් අදහසක කියවුණේ, "ඔහු අයත් වන්නේ තාරකාවන්ටයි. ඔහු යළිත් ගෙදර ගිහින්" යනුවෙනි.

අද ජීවත් වන බොහෝ චීන වැසියන් වැඩී තිබුණේ ස්ටීවන් හෝකින් අතින් ලියවුණු 'අ බ්‍රීෆ් හිස්ට්‍රි ඔෆ් ටයිම්' කෘතිය කියවමිනි.

චීන භාෂාවෙන් පරිවර්තනය වූ එම කෘතියේ පිටපත් දෙවැනි වූයේ එහි ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ කෘතියට පමණක් බව කියැවෙයි.

2006 වසරේදී ඔහු චීනය වෙත සංචාරයකට පැමිණි අතර, එය චීනය තුළ වඩාත් සුවිශේෂී කතාබහක් ඇති කළ සිදුවීමක් බවට පත්විය.

ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් කෘස් වෙත ලැබෙන ප්‍රතිචාරයට වැඩි ප්‍රතිචාරයක් හෝකින් වෙත චීනයේදී හිමිවූ බව කියැවෙයි. ඔහු චීනයේදී පවසා තිබුණේ චීන කාන්තාවන් රූමත් කාන්තාවන් බවය. තම දේශනයක් අතරතුර විහිළුවෙන් මෙන් ඔහු කියූ දෙය චීන වැසියන්ගේ හදවත් තුළ කිඳා බසින්නට ඇත.

එමෙන්ම, 2016 වසරේදී චීන සමාජජාලය වන වෙයිබෝ වෙත මුලින්ම එක්වෙමින් ස්ටීවන් හෝකින් 'චීනයේ තම මිතුරන්ට'  ආමන්ත්‍රණය කරන විට පැය කිහිපයක් තුළ ඔහුගේ වෙයිබෝ ගිණුම වටා මිලියන ගණනක චීන වැසියන් පිරිසක් එක්ව තිබුණි.

මේ අතර, වෙයිබෝ සමාජජාලයේ තවත් ප්‍රකට චරිතයක් මෙන්ම, චීනයේ වඩාත් ජනප්‍රි සංගීත කණ්ඩායමක් ලෙස සැලකෙන ටී.එෆ් බෝයිස් හි ප්‍රධාන ගායක වැන්ග් ජන්කයි තාරකා අතර සිදුවන සංක්‍රමණ සම්බන්ධයෙන් වූ පැනයක් හෝකින්ගෙන් අසා තිබුණි. ඊට පිළිතුරු දීමට පෙර 'වඩා හොඳ පැනයක් අසා ඇති බව' හෝකින් කියා තිබුණි.

කෙසේ වෙතත්, හෝකින්ගේ අභාවය සැලවීමත් සමග වැන්ග් සිය ශෝකය පළ කර තිබුණේ, "ඔබ සදාකාලයටම අයිති වන්නේ විශ්වයට සහ තාරකාවන්ටයි. ඔබේ ඉගැන්වීම මගේ හදවතේ රැඳී තියේවි." යනුවෙනි.

චීනය තුළ සාම්ප්‍රදායිකවම බුද්ධිමතුන් වෙත ඉතා ඉහළ පිළිගැනීමක් හා ගෞරවයක් ලබාදීම නිරායාසයෙන් සිදුවන්නක් වන අතර, එය චීන සංස්කෘතියේම අංගයක් බවටද විවාදයක් නැත. මෙයද මෑතකාලීන ලෝකයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා සම්බන්ධයෙන් චීන ජාතිකයන්ගේ හදවත ඇදබැඳ තැබීමට හේතු වන්නට ඇත.

1_Hoking 2 3 4 5



Recommended Articles