කැනේඩියානු ජාතික පොප් ගායක ජස්ටින් බීබර් නොවැළැක්විය හැකි හේතුවක් නිසා සිය 'පර්පස් වර්ල්ඩ් ටුවර්' ලෝක සංගීත සවාරිය අවලංගු කළ බව ඔහුගේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.
ආසියාව හා උතුරු ඇමෙරිකාව කේන්ද්‍ර කරගනිමින් මාස තුනක කාලයක් ඔහු මෙම ලෝක සවාරිය පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
මේ අතර, පසුගිය සතියේදී චීන බලධාරීන් පවසා සිටියේ ඔවුන් ජස්ටින් බීබර් චීනයට ඇතුළු වීම තහනම් කර ඇති බවයි. සංගීත ප්‍රසංග අතරතුර මෙන්ම සාමාන්‍ය ජීවිතයේදී පවා ඔහු විසින් පිළිබිඹු කරන නොමනා හැසිරීම් මීට හේතුව බව චීන බලධාරීන් අවධාරණය කර තිබුණි.
කෙසේ වෙතත්, බීබර් 2015 වසරේදී එළිදැක්වූ පර්පස් ගීත ඇල්බමයත් සමග ඇරඹි මෙම ලෝක සවාරිය 2016 මාර්තු මාසයේදී ආරම්භ විය.
එය 2017 මුල් අර්ධයේදී පමණක් ඇ.ඩො.මිලියන 93.2ක ආදායමක් උපයා තිබුණු අතර, සාමාන්‍යයක් ලෙස ටිකට්පත් 40,000ක් පමණ අලෙවි වී තිබුණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් බීබර් සිය සමාජජාල ගිණුම් තුළ අදහස් ප්‍රකාශ කර නොමැති අතර, ඔහුගේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයක් සටහන් කරමින් ජස්ටින් සිය සංගීත ලෝලීන්ට ආදරය කරන බවත්, ඔවුන් අපහසුතාවට පත්කිරීමට කිසිසේත්ම අකැමැති බවත් සඳහන් කර තිබේ.
ඒ අනුව, ඔහුගේ ප්‍රසංග වෙනුවෙන් ටිකට්පත් මිලදී ගත් අයට, එම ස්ථානවලින් නැවතත් එම ටිකට්පත් මුදල් බවට පරිවර්තනය කරගත හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ජස්ටින් බීබර් නව යොවුන් වියේ ගායකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත්වුවත්, ඔහු පිළිබඳව අසන්නට ලැබෙන පුවත් මුල සිටම විවාදයට තුඩුදුන් අතර, විවිධ හේතු කාරණා නිසා ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ වාර ගණනද සුළුපටු නැත.