හෙට මැතිවරණයට පෙර බැංකොක් යුද පිටියක් වෙයි


හෙට ආරම්භ වන තායිලන්ත මහ මැතිවරණයට දිනක් තිබියදී තායි අගනුවර පක්ෂ විපක්ෂ ගැටුම් උත්සන්න වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එහිදී, අගනුවර ප්‍රදේශ රැසක වෙඩි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසෙයි.

අල්-ජසීරා පෙන්වා දෙන්නේ, අද දවස පුරා කාර්ය බහුල නගරය යුද පිටියක ස්වරූපය ගත් බවයි. බැංකොක් නගරය පුරා ඇසෙන වෙඩි හා පිපිරීම් හඬ හේතුවෙන් වැඩි දෙනෙකු නිවෙස් හා කාර්යාල තුළට වී සිටි බවත්, විපක්ෂ ක්‍රියාකාරීන් හා රජයට පක්ෂපාතී පිරිස් මෙසේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවත් පැවසෙයි.

කෙසේ වෙතත් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් හමුදා හෝ පොලිස් බලඇණි යොදවා තිබෙන ආකාරයක් නොදුටු බවද අල්-ජසීරා වැඩිදුරටත් පෙන්වා දෙයි.

තායිලන්තයේ විපක්ෂ බලවේග පත්‍රිකා බෙදාහරිමින් මැතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාවට කියා සිටි අතර, දූෂිත ආණ්ඩුව පලවා හැරීම හැර මැතිවරණයක් අවශ්‍ය නොවන බව අවධාරණය කළ බවද කියැවෙයි.

එහිදී ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් විපක්ෂ ක්‍රියාකාරීන් විසින් වැටලමින්, ඒවා බෙදාහැරීම කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීමත් සමග වෙඩි තැබීම් සමග ගැටුම් තත්ත්වය වඩාත් තීව්‍ර වූ බවද අල්-ජසීරා වැඩිදුරටත් වාර්තා කරයි.



Recommended Articles