නේපාලයේ, හිමාලය ආශ්‍රිත අන්නපුරම් කලාපයේ ඇති වූ දරුණු හිම කුණාටු සහ හිම කඳු කඩාවැටීමවලට ලක්ව පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම අනතුරට ලක්ව අතුරුදන් වූවන් ප්‍රමාණය අතිශය ඉහළ අගයක් ගෙන තිබුණු අතර, ඊයේ දිනය වනවිට පුද්ගලයන් 220 දෙනෙකු බේරාගැනීමට ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරත හමුදාව සමත්ව තිබේ.
මියගිය පිරිස අතර, නේපාල, ඊශ්‍රායල්, කැනඩා, ඉන්දියා, ස්ලෝවැකියා සහ පෝලන්ත ජාතික කඳුනගින්නන් සිටින බව කියැවෙයි.
ඉන්දියාවට බලපෑ හුඩ් හුඩ් සුළිකුණාටු තත්ත්වයත් සමග හිමාලය ආශ්‍රිතවද මෙම දරුණු කාලගුණික තත්ත්වය ඇතිවී තිබේ.
මේ අතර, අනතුරට ලක් වූවන් ඉවත් කර ගැනීමේ හෙලිකොප්ටර් මෙහෙයුම්වලට තද කුණාටු සහිත අයහපත් කාල ගුණය බාධාවක් බව පැවසෙයි.