මියන්මාරයේ පාප්වරයෙකු විසින් සිදුකළ ප්‍රථම සංචාරයේ නිරත වෙමින් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් එරට යැන්ගොන් නගරයේදී කිතුණු දේව මෙහෙයක් සිදුකර තිබේ.
කෙසේ වෙතත්, මෙහිදී පාප්තුමන් රොහින්ග්‍යා යන වචනය පාවිච්චි කිරීමෙන් වැළකී සිට ඇති අතර, ප්‍රචණ්ඩක්‍රියාවන්ගේ වේදනාව සිහිපත් කරමින්, අනෙකාගෙන් පළි නොගන්නා ලෙසද පවසා තිබේ. එමෙන්ම, පළි ගැනීම ජෙසුස් වහන්සේ ගිය මග නොවන බවද හෙතෙම මෙහිදී පවසා තිබේ.
බහුතර බෞද්ධ ජනතාවක් වෙසෙන මියන්මාරය වෙත පාප් තුමන්ගේ මෙම හදිසි සංචාරය සිදුවන්නේ එරට තුළ රොහින්ග්‍යා අර්බුදය ඇතිවූ අවස්ථාවේදීය. මෙම සංචාරයෙන් පසුව පාප් තුමන් බංග්ලාදේශය වෙත ගොස් එහි සිටින රොහින්ග්‍යාවරු පිරිසක් මුණ ගැසීමට සූදානම් බවද කියැවෙයි.
පසුගිය අගෝස්තු මාසයේ සිට ඇති වූ රොහින්ග්‍යා අර්බුදය හේතුවෙන් 620,000ක් පමණ බංග්ලාදේශය වෙත පළාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එමෙන්ම, මෙය ජනවාර්ගික සුද්දයක් ලෙසද එම සංවිධානය පෙන්වා දෙයි.
නමුත්, මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන මියන්මාර රජය රොහින්ග්‍යා යනුවෙන් එම ජනකොටස හැඳින්වීමද ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසන්නේ බංග්ලාදේශයෙන් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වූ බෙංගාලි ජනතාව මේ ආකාරයෙන් රඛයින් පළාත තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවයි. කෙසේ වෙතත්, ඔවුන් මියන්මාරයේ පාරම්පරික ජනවර්ගයක් නොවන බවද ඔවුහු පවසති.
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන ආකාරයේ ජනවාර්ගික සුද්දයක් තම රට තුළ සිදු නොවන බවද අවධාරණය කර ඇති මියන්මාරය, එය රඛයින් පළාතේ සන්නද්ධ කණ්ඩායම් විසින් පොලිස් ස්ථාන රැසක් ඉලක්ක කරමින් සිදුකළ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමක් පමණක් බව අවධාරණය කරයි.
විශේෂයෙන්ම මියන්මාරයේ වෙසෙන බෞද්ධයන් ප්‍රචණ්ඩකාරී පිරිසක් බව එත්තු ගැන්වීමටද මෙම පුවත වාර්තා කිරීමේදී ඇතැම් විදෙස් මාධ්‍ය කටයුතු කර ඇති ආකාරය පැහැදිලිව පෙනී යයි. ඒ අනුව, පාප් තුමන්ට රොහින්ග්‍යා යන වචනය පාවිච්චි නොකරන ලෙස දැනුම් දී ඇත්තේ එරට වෙසෙන කතෝලික නියෝජිතයන් බවද සඳහන් වෙයි. මේ නිසා යම් හෙයකින් පාප් තුමන් රොහින්ග්‍යා යන වචනය පාවිච්චි කිරීමෙන් ලක්ෂ 6ක් පමණ වන මියන්මාර කතෝලිකයන්ට ගැටලුවලට මුහුණපෑමට සිදුවිය හැකි බවත්, එය බයහුතර බෞද්ධයන් කුපිත කරවිය හැකි බවත් පවසා තිබේ.