සෞදි කාන්තාවන්ට ජුනි මාසයේ සිට රිය බලපත්‍ර


සෞදි අරාබියේ කාන්තාවන්ට ලබන මාසයේ සිට සෞදිය තුළ මෝටර් රථ ධාවනයට අවසරය ලැබෙන බව රජයේ බලධාරීන් නිවේදනය කර තිබේ.

ඒ අනුව, ජූනි 24දා සිට වයස අවු.18ට වැඩි ඕනෑම සෞදි කාන්තාවකට රියදුරු බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවස්ථාව සැලසෙයි.

රට පුරා නගර 5ක ඉදිවන රියදුරු පුහුණු පාසලකින් ඔවුන් මෙම රියදුරු බලපත්‍ර ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතින බව පැවසෙයි.

ලෝකයේ මෙතෙක් කලක් කාන්තාවන්ට රිය ධාවනය තහනම් කළ එකම රට ලෙස සිටි සෞදි අරාබිය, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සෞදි රජු විසින් එම තහනම ඉවත් කරන බව නිවේදනය කළේය.

කාන්තාවන්ට රිය ධාවනය සඳහා අවශ්‍ය කරන සියලුම පහසුකම් මේ වනවිට සපුරා ඇති බැවින් ජුනි මාසයේ සිට රියදුරු බලපත්‍ර නිකුත් කරන බව එරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු අධියක්ෂ ජෙනරාල් මොහොමඩ් අල්-බසාමි පවසයි.

එමෙන්ම, මේ වනවිට කාන්තාවන්ට රිය ධාවනය පුහුණු කිරීම සඳහා කාන්තා රිය ධාවන උපදේශක පිරිසක්ද පුහුණුව ලබා සිටින බව සෞදි අරාබියෙන් වාර්තා වෙයි.

සෞදි අරාබිය තුළ මෙතෙක් කලක් ස්ත්‍රීන් වෙත දැඩි බලපෑමක් කළ රාජ්‍ය පාලනය වත්මන් රජුගේ මැදිහත්වීමෙන් ක්‍රමයෙන් සහනශීලී බවට පත්කරමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

1_Sudi 2



Recommended Articles