පාපන්දු තරගයක් ක්‍රීඩාංගණය වෙත ගොස් නැරඹීමේ සතුට ප්‍රථම වරට බුක්ති විඳීමට සෞදි අරාබියේ කාන්තාවන්ට හා තරුණියන්ට පසුගියදා අවස්ථාව උදාවිය.
දැඩිමතධාරී ඉස්ලාමීය පාලනයක් සහිත සෞදි අරාබිය තුළ කාන්තාවනටද සම අයිතිවාසිකම් ලබාදීමේ මූලික ප්‍රතිසංස්කරණ යටතේ ඔවුන්ට ක්‍රීඩා තරග නැරඹීමට තිබූ බාධකය මෑතකදී ඉවත් කිරීමට සෞදි රජු ප්‍රමුඛ රජය ක්‍රියා කර තිබුණි.
ඒ අනුව, ඊයේ (12දා) සෞදියේ ජෙඩාහ් නගරයේ පැවති පාපන්දු තරගයක් නැරඹීම සඳහා ස්ත්‍රී පක්ෂයද සහභාගී වීම නිසා, එම ක්‍රීඩාංගණය එරට ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රේක්ෂිකාවන්ගෙන් පිරී ඉතිරෙන්නට වූ බව විදෙස් වාර්තා පවසයි.
ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා තිබූ දොරටුවලින් පවුලේ පිරිස් ඇතුළු වන දොරටුවෙන් කාන්තාවන්ටද ඇතුළු වීමට ඉඩකඩ සලසා තිබූ බව කියැවෙයි.
මෙය නූතනත්වයට ගැලපෙන ලෙස සෞදි අරාබිය තුළ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ රැසක් අභියස තවත් වර්ධනීය අවස්ථාවක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඊට සහභාගී වූ කාන්තාවන් සියලු දෙනාම පාහේ ඉතාමත් සතුටින් සිටි බව වාර්තා වන අතර, ඔවුන් ප්‍රංශ පුවත් සේවය වෙත පවසා තිබුණේ මෙය සෞදි කාන්තාවන්ට සමෘද්ධිමත් අනාගතයක් පිළිබඳ ඉඟි කරන දැවැන්ත පෙරළියක ඇරඹුම බවයි.
සෞදියේ දැඩිමතධාරී මූලධර්ම බිඳගෙන ගනු ලැබූ සැබෑ ප්‍රතිසංස්කරණයක ඓතිහාසික ජයග්‍රහණයක් තමන් බුක්ති විඳින බව තවත් කාන්තාවන් පවසා තිබුණි.
කෙසේ වෙතත් සෞදි කාන්තාවන්ට ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් තවදුරටත් සටන් කිරීමට සිදුවනු ඇති අතර, පුරුෂයෙකුගේ අවසරයක් නොමැතිව ඔවුන්ට සිදුකළ නොහැකි බොහෝ දේ තවදුරටත් පවතී.
ඒ අතර, ගුවන් ගමන් බලපත්‍රයකට අයැදුම් කිරීම, විදෙස් සංචාරයක් යෑම, විවාහ වීම, බැංකු ගිණුමක් විවෘත කිරීම, ව්‍යාපාරයක් ඇරඹීම, ශල්‍යකර්මයක් සිදුකර ගැනීම ආදිය ඒ අතරින් කිහිපයකි.