සෞදියට එල්ලවන මිසයිල ශ්‍රී ලාංකිකයන් බිය ගන්වයි


සෞදි අරාබියේ රියාද් නගරය වෙත යේමනයේ හොයුතු කැරලිකරුවන් විසින් එල්ල කරන මිසයිල ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කිරීමට සෞදිය කටයුතු කළත්, මේ මිසයිල ප්‍රහාර හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් බියමුසු හැඟීමකින් ජීවත් වන බව වාර්තා වේ.

විශේෂයෙන්ම, පසුගිය නොවැම්බර් 04දා සහ දෙසැම්බර් 19දා එල්ල කරනලද මිසයිල ප්‍රහාර උඩු ගුවනේදීම විනාශ කිරීමට සෞදිය කටයුතු කර තිබුණි.

නමුත්, මේ ආකාරයෙන් දිගින් දිගටම මිසයිල ප්‍රහාර සෞදි අරාබිය වෙත එල්ල වන්නේ නම්, එහි අවදානම සුළුවෙන් තැකිය නොහැකි බව යුද විශේෂඥයන්ද පවසයි.

පසුගිය 19දා එල්ල කෙරුණු මිසයිල ප්‍රහාරයෙන්ද සෞදි අරාබියේ රියද් නුවර කිසිවෙකුට හානියක් සිදු නොවුණත්, මහා හඬක් සමග අහස ගිගුම් දුන් බව රියාද් වැසියෝ පවසති.

මේ අතර, 2016 වසරේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව විදේශ රැකියා අමාත්‍යාංශය දැනුම්වත්ව හා නිල බලපත්‍ර සහිතව සෞදි අරාබියේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් පිරිස දළ වශයෙන් 190,000කි.

මේ තත්ත්වය තුළ මෙම සියලු වැසියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සෞදි බලධාරීන්ගේ මෙන්ම, ශ්‍රී ලංකා බලධාරීන්ගේද වගකීම විය යුතු බව එරට වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතය වී තිබේ.



Recommended Articles