සෙවොල් යාත්‍රාවේ ස්ථායීබව ගැන කලින් අනතුරු අඟවලා


දකුණු කොරියාවේදී මුහුදු බත්වූ සෙවොල් යාත්‍රාවේ නිවාඩු ගොස් සිටි කපිතාන්වරයා විසින් එහි ස්ථායීබව සම්බන්ධයෙන් යාත්‍රාවේ හිමිකරු වෙත සිදුකරන ලද අනතුරු ඇඟවීම ඔහු නොසලකාහැර ඇති බවට නඩු පවරන්නන් විසින් චෝදනා ගොනුකර තිබේ.

යාත්‍රාව නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව එහි පමණ ඉක්මවා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එම කපිතාන්වරයා මීට පෙර අනතුරු අඟවා ඇති බව ඔවුහු පවසති.

කෙසේ වෙතත් මේ වනවිටත් නෞකාව අයත් සමාගමේ නිලධාරීන් දෙදෙනෙකුද රැඳවුම් භාරයේ පසුවන බව කියැවෙයි.

නඩු පවරන්නන් විසින් පෙන්වා දෙන පරිදි යාත්‍රාවේ සාමාන්‍යයෙන් රැගෙන යා හැකි බර මෙන් තුන් ගුණයක බරක් එහි රැගෙන ගොස් තිබේ.

පසුගිය අප්‍රේල් 16 වැනිදා යාත්‍රාව මුහුදුබත් වනවිට එහි පුද්ගලයන් 476 දෙනෙකු සිටි අතර, ඉන් ජීවිත ගලවාගෙන තිබුනේ පුද්ගලයන් 174ක් පමණි. එමෙන්ම, මළ සිරුරු 200ක් පමණ කිමිදුම්කරුවන් විසින් යාත්‍රාව තුළ තිබී පසුව සොයා ගනු ලැබිණි.

යාත්‍රාවේ ගමන් කළ මගීන්ගෙන් වැඩි පිරිසක් එරට උසස් පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 16ත් 17ත් අතර වයසේ පසුවූ නව යොවුන් වියේ සිසු සිසුවියන්ය. එමෙන්ම පාසලේ ගුරුභවතුන්ද එහි විය.

කෙසේ වෙතත් කිමිදුම්කරුවන් විසින් තවදුරටත් යාත්‍රාව තුළ සිරවී ඇති මළ සිරුරු සෙවීමේ මෙහෙයුමට සම්බන්ධව සිටින බවද වාර්තා වෙයි.



Recommended Articles