සෙනගාලයේ තාප්පයක් කඩා වැටීමෙන් 8ක් නසී -49ක් තුවාලයි


සෙනගාල් රාජ්‍යයේ පාපන්දු තරගයක් අතරතුර එම ක්‍රීඩාගාරයේ විශාල තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 49 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඩකාර් අගනුවර, ඩෙම්බා ඩිඔප් ක්‍රීඩාංගනයේදී මෙම හදිසි අනතුර සිදුව ඇති අතර, එරට පාපන්දු ලීග අවසන් මහා තරගයේ ස්ටේඩ් ඩි මැබෝර් සහ යූනියන් ස්පෝටිව් ඔවුකම් කණ්ඩායම් අතර තරගය පැවැත්වෙමින් තිබී ඇත.

තරගය අතරතුර ප්‍රතිවාදී කණ්ඩායම් හා පොලීසිය අතර ගැටුමක් ඇතිවී තිබෙන අතර, එහිදී පිරිස් පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විශේෂයෙන්ම ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්ෂකයන් පාලනය සඳහා පොලීසිය මෙම හදිසි පියවර ක්‍රියාත්මක කර තිබේ. මේ අවස්ථාවේදී ප්‍රේක්ෂකයන් හිස් ලූ ලූ අත දිවයන්නට පටන්ගෙන ඇති අතර, විශාල පිරිසක් තෙරපීමට හා දිව යාමේදී පෑගීමටද ලක්වී තිබේ.

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසුව ප්‍රේක්ෂකයන් පිරිසක් ක්‍රීඩාගාරයේ කෙටි තාප්යයක් මතට ගොඩවීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී එම තාප්පය කඩා වැටීමෙන් මෙම ඛේදවාචකය සිදුව තිබේ.



Recommended Articles