සිරියාවේ කැරලිකරුවන් ග්‍රහණයේ පැවති අවසන් නගරය ලෙස සැලකෙන නැගෙනහිර ග්වාටා හි ඩූමා ප්‍රදේශය වෙත සැකකටයුතු රසායනික අවි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැකකෙරෙන අතර, මේ හේතුවෙන් පුද්ගලයන් 70ක්වත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහි ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානයක් වන වයිට් හෙල්මට් විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයකට අනුව ගොඩනැගිල්ලක පහළ මහලේ වැටී ඇති මළ සිරුරු කිහිපයක් දැකගත හැකිය.
එමෙන්ම, මියගිය පිරිස වැඩිවිය හැකි බවද ඔවුන් පවසා තිබේ.
කෙසේ වෙතත්, මේ ආකාරයේ රසායනික අවි ප්‍රහාරයක් පිළිබඳ ප්‍රවෘත්තිය ගොතන ලද එකක් බව සිරියානු රජය අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ මෙම ප්‍රහාරයෙන් කූඩාරම් තුළ සිටි සිවිල් වැසියන් පවුල් පිටින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම, මේ අවස්ථාවේදී රුසියාවටද චෝදනා කරන ඇමෙරිකාව, ඔවුන් සිරියානු රජයේ හමුදාවන්ට සහාය ලබාදෙන බවද පවසා සිටියි. ඒ අනුව, ඔවුන්ද මෙහි වගකීම දැරිය යුතු බව ඇමෙරිකාව කියයි.
කෙසේ වෙතත්, සිරියාවට එරෙහිව මෙවැනි චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මීට පෙරද මෙවැනි චෝදනා එල්ල විය.