සිරියාවේ බෝම්බ ප්‍රහාර දෙකකින් ජීවිත 25ක් බිලිගනී


සිරියාවේ හෝම්ස් නගරයේ පුපුරාගිය කාර් බෝම්බ දෙකක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවත්, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් එරට රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

හෝම්ස් නගරයේ කරාම් අල් ලූස් දිස්ත්‍රික්කයේ පැය භාගයක් අතුළත මෙම බෝම්බ දෙකම පිපිරී ඇති අතර, රජය පෙන්වා දෙන්නේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවයි.

මේ අතර, කැරලි හමුදාව යටතේ පැවති රැන්කොවුස් නගරය රජයේ හමුදා අතට පත්ව ඇති බවත් මේ සමගම වාර්තා වන අතර, ඊට එකට එක කිරීමක් ලෙස මෙම බෝම්බ ප්‍රහාරයට එල්ල කරන්නට ඇති බවද පැවසෙයි.

සිරියානු රජයේ රූපවාහිනිය පෙන්වාදුන් පරිදි රැන්කොවුස් නගරය අත්පත් කරගැනීමේ අවසාන සටන පැය 18ක පමණ කාලයක් පැවතී ඇත.

කෙසේ වෙතත් ඊට සති කිහිපයක සිට මෙම නගරය අත්පත් කරගැනීම සඳහා රජයේ හමුදා සහ කැරලි හමුදා අතර දරුණු සටන් ඇවිලුණු බවද කියැවෙයි.

කෙසේ වෙතත් සිරියානු අර්බුදය හේතුවෙන් මේ වනවිට ජීවිත දහස් ගණනින් අවසන් වී හමාරය. එමෙන්ම මිලියන ගණනක ජනතාවට උන්හිටිතැන් අහිමි වී ඇත. මෙහි විසඳුම පෙනෙන තෙක් මානය නොමැති බවද නොකියා බැරිය.



Recommended Articles