සිරියානු සාමාන්‍ය වැසියන්ට ප්‍රහාරයක් - 45ක් මරු දකී


සිරියාවේ කැරලිකරුවන්ගේ පාලනයේ පවතින නගරවලින් සාමාන්‍ය වැසියන් ඉවත්කරමින් සිටි බස් රථවලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම රථ පෙළ ගමන් කරමින් තිබියදී එලල් වූ මරාගෙන මැරෙන කාර් බෝම්බයක් බස් රථ මෙන්ම, එම රථ පෙළේ ගමන්ගත් වාහන රැසක් ගින්නට හසුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇලෙප්පෝ නගර ආසන්නයේදී එල්ල වූ ප්‍රහාරයෙන් පසුව වැඩිහිටි මෙන්ම කුඩා දරුවන්ගේ සිරුරු රැසක් ඉවතට ගැනුණු සිද්ධිය ඇසින් දිටුවෝ පවසති.

ප්‍රහාරයට ගොදුරුවන නගර හතරකින් තිස්දහසක් පමණ සාමාන්‍ය වැසියන් ආරක්ෂක ස්ථාන වෙත රැගෙන යාම සඳහා දෙපාර්ශ්වයේම එකඟත්වය මත සිදුකළ මෙහෙයුම කඩාකප්පල් කළ අවස්ථාවක් ලෙස මෙය සැලකෙයි.

ඇතැම් විට මෙය කැරලිකරුවන් හෝ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ප්‍රහාරයක් විය හැකි බවද විශ්වාස කෙරෙයි.

මෙසේ ජනතාව ඉවත් කිරීමේ සැලැස්ම යටතේ ඉරානය සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් කැරළි කරුවන්ගේ පාලනය පවතින බටහිර ඩමස්කස් හි නගර දෙකක් වන මදායා සහ සබාදානි යන නගර දෙකේ සහ රජයේ පාලනයේ පවතින ඉද්ලිබ් පළාතේ නගර දෙකක පදිංචිකරුවන් ඉවත්කිරීම සිදුකරමින් තිබුණි.

මෙම ප්‍රදේශවල අනතුරුදායක තත්වයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදීමත් සමග මෙම ඉවත්කිරීම සිදුකෙරිණි.



Recommended Articles