ස්පාඤ්ඤ අගමැති මුෂ්ටි ප්‍රහාරයකට ලක්වේ


ස්පාඤ්ඤ අගමැති මරියානෝ රජෝයි ජනතාව හමුවට පැමිණි අවස්ථාවකදී අහඹු ලෙස තරුණයෙකුගෙන් එල්ල වූ මුෂ්ටි ප්‍රහාරයකින් මුහුණ රතු වී ගිය බව විදෙස් වාර්තා පවසයි.

අගමැතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් අතරතුර මෙය සිදුවී ඇති අතර, අගමැතිවරයා ජනතාවට මැදිව සිටියදී ඔහු අසලින්ම සිටි තරුණයෙකු මෙම මුෂ්ටි ප්‍රහාරය ඉතා තදින් අගමැතිවරයාගේ මුහුණ වෙත එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පවා විදෙස් වාර්තාවල පවතී.

ස්පාඤ්ඤයේ ගලීසියා පළාතේ, පොන්ටේවෙන්ඩ්‍රා නගරයේදී මෙම අවාසනාවන්ත සිදුවීමට අගමැතිවරයා මුහුණ දී ඇත.

මෙම සිදුවීමට සම්බන්ධ තරුණයා එම අවස්ථාවේදීම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූවද, ඔහු මෙවැන්නක් සිදුකිරීමට හේතු මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත්, මෙවර මැතිවරණයේ අගමැතිවරයා සමග ප්‍රතිවිරුද්ධව තරග වදින විරුද්ධ පක්ෂ නායකයන් පවා මෙම අවාසනාවන්ත සිදුවීම තරයේ හෙළා දැක ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles