ස්පාඤ්ඤය රටක් ලෙස එක්වන්න - රජු පවසයි


ස්පාඤ්ඤයේ කැටලෝනියා පළාතේ ඇතිවෙමින් පවතින බෙදීවෙන්වීම අත්හරිමින් යළිත් රටක් ලෙස එක්වන්නැයි ස්පාඤ්ඤයේ හය වැනි ෆිලිප් රජු සිය නත්තල් දින පණිවුඩයෙන් සියලු රට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

කැටලෝනියාව වෙත වෙනම ස්වයං පාලනයක් බලාපොරොත්තුවෙන් පැවති ජනමත විචාරණය බෙදුම්වාදී කණ්ඩායම් ජයග්‍රහණය කිරීමත් සමග ස්පාඤ්ඤය තුළ මෙම අර්බුදය හටගනු ලැබිණි.

කෙසේ වෙතත්, එම ජනමත විචාරණය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් ඊට නායකත්වය දුන් කැටලෝනියා නායක කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන අවස්ථාවේදී ඔහු තවත් අමාත්‍යවරු පිරිසක් සමග බෙල්ජියම වෙත පළා ගියහ.

කෙසේ වෙතත්, කැටලෝනියාවේ පසුගියදා පැවති මැතිවරණයෙන්ද යළිත් වරක් බෙදුම්වාදී කණ්ඩායම් වෙත බලය හිමිවීමද කැපී පෙනුණත්, මෙවර තනි පක්ෂයකට බහුතර බලයක් හිමිකර ගැනීමට අවස්ථාවක් නොවීය.

මේ තත්ත්වය තුළ යළිත් වරක් ස්පාඤ්ඤය බෙදී වෙන්වීමේ ලකුණු පහළ කර ඇති අතර, සියලු ජනතාව අතර නොසන්සුන්තාවක් ඇතිකර තිබෙන බවත්, විශේෂයෙන්ම ඇතැම් මාධ්‍ය මෙම තත්ත්වය දඩමීමා කරගනිමින් ස්පාඤ්ඤය බෙදීමට කටයුතු කරන බවටත් චෝදනා පවතී.

මේ සියලු තත්ත්වයන් විස්තර කරමින් ස්පාඤ්ඤ රජතුමා වැඩිදුරටත් පවසා සිටියේ, එකිනෙකා අතර ඝට්ටනය ඇති කරන්නට වඩා සහයෝගය ඇති කරන්නන් තෝරාගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවය. කෙසේ වෙතත්, කැටලෝනියා බෙදුම්වාදී නායකන්ගේ නම් සඳහන් කිරීමකින් තොරව ඔහු මෙම අදහස් දැක්වීමේදී වක්‍රව ඔවුන්ට චෝදනාවක්ද එල්ල කළේය.

1_Spain 2 4 5



Recommended Articles