ස්කොට්ලන්ත ජනමත විචාරණයේදී ව්‍යාපාරික ප්‍රජාවත් උණුසුම්


ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්විය යුතුද නැත්ද යන ජනතා කැමැත්ත විමසමින් පැවැත්වීමට නියමිත ජනමත විචාරණයේ ප්‍රචාරණ කටයුතු අතරතුර එරට ව්‍යාපාරික ප්‍රජාව අතරද දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

ස්කොට්ලන්තයේ Yes හා No ජනමත විචාරණය තුළින් ජනතාව එක්සත් රාජධානියෙන් වෙන්විය යුතුය යන තීරණය ජයගතහොත් එය 1930 දී සිදුවූ ආකාරයේ ආර්ථික අවපාතයකට හේතුවිය හැකි අත්වැරැද්දක් වනු ඇති බවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර බැංකුවක් වන ඩොයිෂ් බැංකුව අනාවැකි පළ කිරීමත් සමග ව්‍යාපාරික ප්‍රජාව අතර මෙම උණුසුම්කාරී වාතාවරණය උදාවී තිබේ.

එහිදී, ස්වාධීන ස්කොට්ලන්තයක් වෙනුවෙන් සහාය දක්වන ප්‍රබල දේශපාලන චරිතයක් වන ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ජිම් සිලර්ස් බැංකුවලට අනතුරු අඟවා තිබුණේ බ්‍රහස්පතින්දා ජනමතය වෙන්වීමට පක්ෂව ප්‍රකාශ වුවහොත් එරට බැංකුවලටත් තීරණයක් ගතයුතු දිනයක් එළැඹිය හැකි බවයි.

එක්සත් රාජධානියෙන් වෙන්වීමට පක්ෂව ජනතාව තීරණයක් ගතහොත් ස්කොට්ලන්තයේ ඇති තම කාර්යාල ලන්ඩනයට ගෙන යන බව එරට ඇතැම් දැවැන්ත මූල්‍ය ආයතන මීට ඉහත දී පවසා තිබුණි.

කෙසේ වෙතත්, වර්තමානයේ ව්‍යාපාරික ලෝකයේද දේශපාලන අතපෙවීම් ඇති නිසා, ඒ බොහෝ මූල්‍ය ආයතන මහා බ්‍රිතාන්‍යයේ බලපෑම මත එවැනි ප්‍රකාශ කරනවා විය හැකි බවටද දේශපාලන විචාරකයෝ අදහස් දක්වති.

 



Recommended Articles