සයිබර් ප්‍රහාරය පෙර නොවූ විරූ බලපෑමක් -යූරෝපෝල්


ලොව පුරා ආයතනික පරිගණක පද්ධති වෙත එල්ල වූ ප්‍රබල සයිබර් ප්‍රහාරයේ බලපෑම පෙර නොවූවිරූ බලපෑමක් බව යුරෝපා පොලිස් ඒජන්සිය පවසයි.

යූරෝපෝල් පෙන්වාදෙන්නේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව හඳුනාගැනීම සඳහා ලොව පුරා අතිශය සංකීර්ණ විමර්ශණයක් කිරීමට සිදුවනු ඇති බවයි.

සිකුරාදා සිදුවූ මෙම සයිබර් ප්‍රහාරය රාජ්‍යයන් 99කට සෘජුවම බලපා තිබූ අතර, අඩුම තරමින් ආයතනික පරිගණක පද්ධතිය 75,000ක් පමණ මෙහි ගොදුරු බවට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.

මේ අතර, මෙම සයිබර් ප්‍රහාරය සඳහා ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් නිර්මාණය කළ මෘදුකාංගයක් යොදාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතී.

එටර්නල් බ්ලූ ලෙස සැලකෙන මෙම මෘදුකාංගය ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියෙන් සොරාගෙන, සයිබර් ප්‍රහාරයක් සඳහා යොදාගන්නා බවට ෂැඩොව් බ්‍රෝකර්ස් නමැති හැකර්කරුවන් පසුගිය අප්‍රේල් මාසයේදී අනතුරු ඇඟවීමක් කර තිබීම ඊට හේතුවයි.

කෙසේ වෙතත්, සයිබර් ප්හාරය නිසා අගුලු වැටී ඇති පරිගණක යථාතත්ත්වයට පත්කිරීමට නම් ඇ.ඩො.300ක කප්පම් මුදලක් අන්තර්ජාලය තුළින්ම ගෙවන ලෙස මෙම හැකර්වරු නියෝග කර ඇති බවත් සඳහන් වෙයි.

මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව, ඉතාලිය, ස්පාඤ්ඤය යන රටවල් ප්‍රමුඛව මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරුව ඇති අතර, ඉන් වැඩිම බලපෑම රුසියාවට සිදුව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයටද ඉන් ප්‍රබල බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.



Recommended Articles