සමූල ඝාතකයෙක් PlayStation3 ධාවකයක් ඉල්ලා උද්ඝෝෂණයේ


නෝර්වේ රාජ්‍යයේ 2011 වසරේදී මිනිසුන් 77දෙනෙකු බෝම්බ ගසමින් හා වෙඩි තබමින් මරා දැමීමට ක්‍රියා කළ ඇන්ඩර්ස් බ්‍රෙයිවික් නමැති සමූල ඝාතකයා සිරමැදිරිය තුළ තමන්ට ලබාදී ඇති ‘ප්ලේස්ටේෂන් 2’ වීඩියෝ ක්‍රීඩා ධාවකය, ‘ප්ලේස්ටේෂන් 3’ (PlayStation3) ධාවකයට යාවත්කාලීන කර දෙන මෙන් ඉල්ලා ආහාර නොගෙන මාරාන්තික උපවාසයකට සූදානම් වන බවට තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් කරන විශ්මිත පුවතක් වාර්තා වෙයි.

දක්ෂිණාංශික අන්තවාදියෙකු ලෙස සැලකෙන බ්‍රෙයිවික් වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් මහත් වේදනාවට පත්ව ඇති සිරිමැදිරිය තුළ වූ තමන්ට සහනයක් ලබාගැනීම වෙනුවෙන් දැනට තිබෙන වීඩියෝ ක්‍රීඩා ධාවකයට වඩා නවීන එකක් අවශ්‍ය බවයි.

දකුණුදිග නෝර්වේ අධිආරක්ෂිත සිරමැදිරියක රඳවා සිටින මොහු තවදුරටත් පවසා ඇත්තේ එහි ක්‍රීඩා කිරීමට අවශ්‍ය වීඩියෝ ක්‍රීඩා තමන්ට අවශ්‍ය ආකාරයෙන් තෝරා ගැනීමටද අවශ්‍ය බවයි.

ඔහුගේ මෙම වීඩියෝ ක්‍රීඩා ධාවක ඉල්ලීමට අමතරව තවත් ඉල්ලීම් කිහිපයක්ම බලධාරීන්ගෙන් කර ඇති බවටත් තොරතුරු අනාවරණය වෙයි. එහිදී තමන්ට දැනට ලබාදෙන යූරෝ 36ක දීමනාව දෙගුණ කරන ලෙසද ඔහු පවසා ඇත්තේ පිටස්තර ලෝකයාට ලිපි ලිවීමේදී වැයවන මුද්දර ගාස්තු සඳහා එම මුදල් ප්‍රමාණවත් නොවන බව පවසමිනි.

මිනිසුන් 77 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කළ පුද්ගලයෙකුට සිරගතව ජීවත්වීමට අවස්ථාව ලබාදීමේ පාපය මේ වනවිට නෝර්වේ බලධාරීන් බුක්ති විඳින්නේ, මේ ඉල්ලීම් ඉටු නොකළහොත් ඔහු ආහාර නොගෙන මාරාන්තික උපවාසයකට යන බවට තර්ජනය කිරීම නිසාය.



Recommended Articles