දකුණුදිග ඉරාකයේදී ෂියා මුස්ලිම්වරුන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ද්විත්වයකින් පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබූ අතර, දිඛාර් පළාතේ, නසරියා නගරය අසල අවන්හලකට ඇතුළු වූ ත්‍රස්තයන් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් හා මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හරිමින් පළමු ප්‍රහාරය දියත් කොට තිබේ.
ඉන් අනතුරුව, ඒ අසල ආරක්ෂක මුරපොළකට කාර් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කිරීමට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ක්‍රියාකර තිබේ.
වන්දනාවේ පැමිණි ෂියා මුස්ලිම් බැතිමතුන් පිරිසක් මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර, මියගිය පිරිසේ ඉරාන ජාතිකයන්ද සිටින බව විදෙස් වාර්තා පවසයි.
මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 80කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් බහුතරයකගේ තත්ත්වය බරපතල බවද සඳහන් වෙයි.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවයි. ඉරාකය හා සිරියාව තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය අතුගා දැමීම සඳහා සිදුකරන මෙහෙයුම්වලින් ඔවුන් ලබා ඇති අන්ත පරාජය හමුවේ මේ ආකාරයෙන් අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරන ම්ලේච්ඡ ප්‍රහාර ඔවුන් අරඹා ඇති බවද සඳහන් වෙයි.
එමෙන්ම, තවත් මෙවැනි ප්‍රහාර මාලාවක් සඳහා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සිය ගණනක් පුහුණුව ලබා ඇති බවටද බුද්ධි තොරතුරු වාර්තා වී තිබේ.