ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට පැමිණෙයි


ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත්ව සිටින චැන්ග් ෂියුඅන් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිස ඊයේ (21දා) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණියේය. එහිදී ඔහු පිළිගැනීම සඳහා මෙරට චීන තානාපති කාර්යාල නිලධාරීන්මෙන්ම ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගම් රැසක නියෝජිතයන් ඇතුළුව බොහෝ පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. චැන්ග් ෂියුඅන් මහතා මෙරටට පත්ව එන 21 වැනි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයාද වෙයි. මෙහිදී ශ්‍රී ලාංකික ප්‍රජාව අමතා අදහස් දැක්වීමක් සිදුකිරීමටද නව චීන තානාපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව දෙරට තුළ සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් කලාපය තුළ සාමය, ස්ථාවරත්වය ඇති කිරිමටත් පියවර ගන්නා බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

&මේ තරම් අලුයම් කාලයකදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ මා හට මෙවැනි උණුසුම් පිළිගැනීමක් ලබාදීමට කටයුතු කිරීම ගැන මා ඔබ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාව කියන මේ සුන්දර දූපතට පය ගැසූ මොහොතේ සිටම මට මගේ නිවසේ සිටින හැඟීමක් පැමිණියා.

මගේ මැදි පාසැල් වයසේ පටන්ම භූගෝලවිද්‍යාව සහ ඉතිහාස අත්පොත් හරහා, ඉන්දියානු උපමහාද්වීපයේ ගිණිකොණට වන්නට සහ ඉන්දියානු සාගරය මධ්‍යයේ පිහිටි ලංකාව කියන මේ අතිශය මනස්කාන්ත රට ගැන දැන ගෙන සිටියා. පිරිසුදු වෙරළ තීරයන්, සමෘද්ධිමත් සතුන් සහ ශාක සම්පත, පෞරාණික නගර සහ මාළිගා, සුවිශාල බෞද්ධ සම්ප්‍රදායන් ශ්‍රී ලංකාව සතුයි. එරට ජනතාව කැපවී වැඩ කරන, නිර්භීත, දක්ෂ සහ කාරුණික පිරිසක්. ඒ වගේම ඔවුන් බොහෝ අංශයන්ගෙන් උද්‍යෝගිමත්, ත්‍යාගශීලී සහ කුසලතාපූර්ණයි.

ශ්‍රී ලාංකේය ජනතාවගේ සිනහවන්ද පිපුණු මල් වගේ සෑම තැනකදීම දැක ගන්න පුළුවන්. මනබදින මැණික්, සුවඳවත් තේ, පැතිරුණු නිල්දිය, කඳුවැටි, ගංගා, අලි ඇතුන් සහ වඳුරන් මේ අතරින් කිහිපයක්. මම මගේ හද පතුලෙන්ම මේ සුන්දර රටට ආදරෙයි. ඒ වගේම මේ පරිපූර්ණ වූ ඉතිහාසය, සංස්කෘතිය සහ ජීවන රටාවන් අත්විඳින ගමන්ම ශ්‍රී ලාංකික ජනතාව ඉදිරියේදී ලබා ගන්නා සාර්ථකත්වයන්ට සහ වෙනස්වීම්වලට සෑම විටකදීම සතුට පළ කරන්නත් මම කටයුතු කරනවා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව සියවස් ගණනාවක් ඈතට දිවයනවා. දෙරටේ ජනතාව තුළ පැවැති මිත්‍රශීලීත්වය දෙරට අතර මනා සබඳතාවක් සඳහා ශක්තිමත් බදනමක් වී තිබෙන බව අපි දැඩි ලෙස විශ්වාස කරනවා. චීනයේ සුප්‍රසිද්ධ යාත්‍රිකයෙකු වූ සෙන්ග් හි ඇතුළු පිරිවර තම ගමන ආරම්භ කළේ දැනට සියවස් හයකට පෙරාතුවයි. විසි වැනි සියවසේ මැදදී දෙරට අතර ඇති වුණු සහල් - රබර් හුවමාරු ගිවිසුම දෙරටේම ජනතාව අතර පැවති ගැඹුරු ලබැඳියාව මනාව පිළිබිඹු කරන්නක්. ඒ අනුව කාලයත් සමගින්ම මේ සුවිශාල මිත්‍රශීලීත්වය තවදුරටත් සමීපවීම පිළිබඳව අප වඩාත් සෑහීමකට පත්වෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට පත්ව එන 21 වැනි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ සෑම තැනකම වෙසෙන ජනතාව සමගින් මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම චීනය සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික සහයෝගිතාව වර්ධනය කරගනිමින්‍, චීනයේ එක් තීරයක් සහ එක් මාවතක් සංකල්පය ගොඩනැගීම සඳහා දායකත්වය ලබා දෙමින්, දෙරට අතර සහයෝගිතා එකඟතාවන් වෙත පිවිසීමටත් මා බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම රාජ්‍යයන් දෙකෙහිම නායකයන්ගේ මගපෙන්වීම යටතේ අපි දෙපාර්ශ්වයම ඒකාබද්ධව චීන - ශ්‍රී ලංකා ප්‍රජාවක් බිහි කරමින් දෙරටේම ජනතාවගේ යහපැවැත්ම තවදුරටත් දියුණු කිරිම සඳහා පියවර ගැනෙනු ඇති. එහිදී මූලිකවම දෙපාර්ශ්වයටම සම ජයග්‍රහණ හිමිවන අයුරින්, කලාපය තුළ සාමය, ස්ථාවරත්වය සහ සෞභාග්‍ය ගොඩනැගීමේ අරමුණින් එකට එක්ව කටයුතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.&

‍මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ කටයුතු බාර චීන තානාපති කාර්යාල නිලධාරිනිය වූ පැන්ග් චුන්කිව් මහත්මිය,ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සභාපති ආනන්ද කුලරත්න, ශ්‍රී ලංකා චීන සමාජ සහ සංස්කෘතික සහයෝගීතාවයේ සභාපති සභාපති ඉන්ද්‍රනන්ද අබේසේකර, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති නලීන් අපොන්සු, ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන යන මහත්වරු ඇතුළුව එම සංගම්වල නිලධාරීන් රැසක්ද සහභාගී වී සිටියහ. 

 20180121_061056

20180121_061436

IMG_9457 IMG_9469 IMG_9509



Recommended Articles