බොලිවුඩ් නිළි ශ්‍රීදේවි ඩුබායි හෝටල්යේ නාන කාමරයේ ටබ් එක තුළ අහඹු ලෙස ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මරණ පරීක්ෂණයෙන් කීවද, භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙකු වන ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි එය ඝාතනයක් බව කියයි.
බොලිවුඩ් නිළියගේ ස්වාමියා වූ බොනී කපූර්ද මේ වනවිට මරණය සිදුවූ දින හෝටලයේ සිදුවීම් සිය මිතුරෙකු වෙත අකුරෙන් අකුර පවසා තිබුණත්, මෙම මරණය සම්බන්ධයෙන් තමා පළකළ අදහසෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව හෝ සමාව ගැනීමක් නොකරන බවද ස්වාමි පවසා තිබේ.
තම අනුමාන හා ඩුබායි හි වෙසෙන තම මිතුරන්ගෙන් ලැබුණු තොරතුරු ආශ්‍රයෙන් තමන් මෙම අදහස පළ කරන බවද ආචාර්ය ස්වාමි සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ප්‍රබලයන් සමග සබඳතා දක්වන පාතාලයක් පිළිබඳවද පෙන්වා දී ඇති ස්වාමි, මෙම මරණය පිටුපසද පාතාලයක මැදිහත්වීමක් තිබිය හැකි බව කියයි.
කෙසේ වෙතත්, මෙම මරණය ඩුබායි දේශයේදී සිදුවීම තුළ තමන්ට මේ ගැන වැඩිමනක් කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දෙන ඔහු, ඩුබායි යනු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති රාජ්‍යයක් බවද අවධාරණය කරයි.
මෙම මරණය සිදුවූ ආකාරය පිළිබඳ ප්‍රශ්න කරන ස්වාමි සඳහන් කරන්නේ, අඩි 5යි, අඟල් 7ක් උස ශ්‍රීදේවි වැනි අයෙකු කුඩා ටබ් එකක් තුළ ගිලී මැරීම කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවයි.
වැඩිහිටියෙකුට මෙවැනි මරණයක් සිදුවීමට නම් අනිවාර්යයෙන්ම කිසිවෙකු විසින් අදාළ පුද්ගලයා එම ටබ් එක තුළ ජලයේ ඔබාගෙන සිටිය යුතු බවද ඔහු අවධාරණය කරයි.
ඉන්දියාව තුළ සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් කලක පටන් අධ්‍යයනයක යෙදී ඇති තමන්ට, මෙය කිසිසේත්ම ස්වභාවික මරණයක් ලෙස සැලකිය නොහැකි බව ඔහු පෙන්වා දෙයි.
තමන් මෙම අදහස් පළ කරන්නේ ශ්‍රීදේවිගේ ස්වාමියා හෝ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් නොවන බවත්, ඔවුන් මේ පිළිබඳ කතා කිරීමට කැමැත්තක් හෝ බියක් දක්වන්නේද යන්න තමා නොදන්නා බවත් පවසන ආචාර්ය ස්වාමි, මෙම අදහස් පොදුවේ පොදු වස්තුවක් හෙවත් පොදු ජනතාවගේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් එම ජනතාව වෙත හෙළිකරන තොරතුරු බවත් ඔහු පෙන්වා දෙයි.
ඩුබායි පොලීසිය මෙම මරණය පිළිබඳ කතා ප්‍රවෘත්තිය හැකි ඉක්මණින්ම වසා දැමූ බව පවසන ආචාර්ය ස්වාමි, මින්පෙර ආදර්ශයක් පෙන්වා නොමැති ඔවුන්ගේ නිගමනය පිළිගැනීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවද අවධාරණය කරයි.
කෙසේ වෙතත්, ශ්‍රීදේවිගේ මරණයෙන් පසුව ඔහුගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම, ස්වාමියා බොනීද මෙම මරණය පිළිබඳ දුක සිය පවුලේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් නිදහසේ විඳදරා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
එමෙන්ම, මේ තුළින් ශ්‍රීදේවිගේ දියණියන්ගේ සිත්වල වූ වේදනාව තවත් පෑරීමට ඉඩක් ලබානොදිය යුතු බවද එහි සඳහන් විය.
නමුත්, සුබ්‍රමනියන් ස්වාමි පවසන ආකාරයෙන්ම ශ්‍රීදේවි යනු පෞද්ගලික වස්තුවක් නොවන බවද සැබෑය. ඇය ජනතාවගේ වස්තුවකි. එබැවින් ඇය පිළිබඳ ඉදිරියටත් කතා කරනු ඇත.