නැසීගිය බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ දේහය ඇගේ මරණයෙන් දින තුනකට පසුව ඊයේ (27දා) රාත්‍රියේ ඉන්දියාවේ මුම්බායි නුවර වෙත රැගෙන එන ලදී.
ඇය අවසන් හුස්ම හෙලූ ඩුබායි සිට විශේෂ පෞද්ගලික ජෙට් යානයකින් ඇගේ නිසල දේහය සමග ඇගේ ස්වාමි පුරුෂයා වූ බොබී කපූර් මෙන්ම, ඥාති පුත්‍රයෙකු වූ අර්ජුන් කපූර්ද මුම්බායි වෙත පැමිණියහ.
ගුවන් තොටුපොළෙහි සිට ඇගේ දේහය රැගත් ගිලන් රථය පිටතට පැමිණෙන විට විශාල ජනතාවක් ඇයට ගෞරව දැක්වීම සඳහා පෙළගැසී සිට ඇති අතර, විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ශ්‍රීදේවියගේ මරණය සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය අවසන් කරමින් එම දේහය ඥාතීන්ට භාරදීම ඩුබායි පොලීසිය විසින් ඊයේ (27දා) සවස් කාලයේදී සිදුකරන ලදී.
54 වැනි වියෙහි පසුවූ ශ්‍රීදේවියගේ මරණය ඇය රැඳී සිටි හෝටල් කාමරයේ ටබ් එක වෙතට සිහිසුන්ව ඇද වැටීමෙන් අහඹු දියේ ගිලීමකින් සිදුවූවක් බව හදිසි මරණ පරීක්ෂණයෙන් කියවුණි.
කෙසේ වෙතත්, ඇගේ මරණය ඩුබායි හි විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් සිදුවූවක් බව මුලින් වාර්තා විය.
මේ අතර, මෙම මරණය සම්බන්ධයෙන් යම් යම් සැක මතුවීම හේතුවෙන් සිරුර ඥාතීන්ට භාරදීම තරමක් ප්‍රමාද කෙරුණු අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට භාරදීම පසුගිය 26දා සිදුවිය.
ඒ අනුව, සියලු නීතිමය කටයුතු අවසන්ව දේහය ඥාතීන්ට භාරදීම ඊයේ (27දා) සවස සිදුවූ අතර, සිරුර එම්බාම් කිරීමෙන් අනතුරුව එය ගුවන් මගින් මුම්බායි වෙත රැගෙන ඒම නියමිත පරිදි සිදුවිය.
මේ අතර, ශ්‍රීදේවියගේ පවුලේ අය සමග කනගාටුව බෙදාහදා ගැනීමට ඉන්දීය සිනමාවේ දැවැන්ත තරු රැසක් ඇගේ දියණියන් දෙදෙනා රැඳී සිටින, ඇගේ මස්සිනා වූ අනිල් කපූර්ගේ නිවසට වරින් වර පැමිණි බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රීදේවියගේ පවුලේ ඥාතීන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ අද (28දා) උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා මුම්බායි ක්‍රීඩා සමාජයේදී ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රසික රසිකාවියන් ඇතුළු සියලු දෙනාට අවස්ථාව සලසා ඇති බවය.
ඒ අනුව, අද සවස 2.00 පමණ වනවිට ඇගේ දේහය මුම්බායි ක්‍රීඩා සමාජයේ සිට විලේ පාර්ලේ සේවා සමාජ් ආදාහනාගාරය වෙත රැගෙන යනු ඇත.
ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව බොලිවුඩ් සිනමාවේ බිහිවූ අග්‍රගණ්‍ය චරිතාංග නිළියක වූ ශ්‍රීදේවියගේ ආදාහන උත්සවය සවස 3.30ට සිදුකිරීමට නියමිතව ඇත.