ශ්‍රීදේවි ආදාහනයෙන් පසුව ඥාතීන්ගෙන් නිවේදනයක්


බොලිවුඩ් නිළි ශ්‍රීදේවි අදාහන උත්සවයෙන් පසුව ඇගේ පවුලේ ඥාතීන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

කපූර්, ආයප්පන් සහ මර්වාහ් යන පවුල්වල ඥාතීන් එකතුව නිකුත් කළ නිවේදනයක් ලෙස එය ඉදිරිපත් විය.

පසුගිය දින කිහිපය ඔවුන් පවුලක් ලෙස දුක බෙදාගත් ආකාරය මෙන්ම, බලාපොරොත්තු වූවාටත් කලින් නික්ම ගිය ඒ සොඳුරු ආත්මය ඔවුන් එක්ව අද දිනයේ මිහිදන් කළ බවත් එහි සටහන් විය.

රිදී තිරයේ ඇයගේ දස්කම්, ඇගේ සොඳුරුකම් ජනහදවත් වැළඳගත් ආකාරයෙන්ම ඇයට සිය පවුල සමග සොඳුරු බැඳීමක් පැවති බවද එහි සටහන් විය.

පසුගිය දින කිහිපයේ සැමගෙන් ලැබුණු ආදරයේ වැදගත්කමද එහි සටහන් විය.  ශ්‍රීදේවිට දැක්වූ ආදරය මෙන්ම, ඇගේ දියණියන්ටද ඒ ආදරය ලබාදෙමින් ඔවුන්ගේ හදවත්වල වූ වේදනාව තුනී කරන ලෙසට ඉල්ලීමක්ද එහි විය.

එමෙන්ම, මාධ්‍ය වෙත විශේෂ ඉල්ලීමක් වූයේ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරමින් ඔවුන්ට මේ දුක බෙදාගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසය.

ශ්‍රීදේවි සිය ජීවිතය බොහොම ගරුත්වයෙන් යුතුව ගතකළ බැවින්, ඇයට ඒ ආකාරයේම ගරුත්වයක් ලබාදෙන ලෙස ඇයද සිටින බවද මාධ්‍ය වෙත එම ලිපියෙන් කාරුණික ඉල්ලීමක් විය.

02



Recommended Articles