වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂ බලය හිමි ජාතික මන්ත්‍රණ සභාවට ඇතුළු වූ ජනපති නිකොලාස් මදූරෝ හිතවාදීන් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු පිරිසකට සහ ජනමාධ්‍යවේදීන් පිරිසකට පහරදී තිබේ.
වෙනිසියුලාවේ නිදහස් දිනය නිමිත්තෙන් පැවති සැමරුමක් අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදුන් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල පිටත රතිඤ්ඤා දල්වමින් රැස්ව සිටි ජනපති හිතවාදීන් පිරිස පොලු මුගුරු රැගෙන පසුව ගොඩනැගිල්ල වෙත කඩා වැදී තිබේ.
බොහෝ දේශපාලඥයන් ලේ වැගිරෙන තුරු පහරකෑමට ලක්ව ඇති අතර, ඔවුන්ගේ ඡායාරූප සමාජජාල වෙබ් අඩවිවල පළ වෙමින් තිබේ.
තුවාල ලැබූවන් අතර, විරුද්ධ පක්ෂ නියෝජ්‍ය නායක ඇමෙරිකෝ ඩි ග්‍රාසියාද සිටින බව වාර්තා වෙයි.
වෙනිසියුලා රජයේ නිදහස් දින සැමරුම හා හමුදා පෙළපාලිය කර්කාස් නුවර පැවැත්වෙන අතරතුර ජනපති නිකොලාස් මදූරෝගේ කතාව අතරතුර මෙම ප්‍රචණ්ඩක්‍රියාව මන්ත්‍රණ සභා භූමියෙන් ඇරඹී තිබේ.
වෙනිසියුලානු රජයට එරෙහි විරෝධතා පසුගිය කාලය පුරාවට පැවති අතර, මේ තත්ත්වය තුළ එරට විපක්ෂ ක්‍රියාකාරීන් වෙත රජයේ පාර්ශ්වයෙන් දැඩි ප්‍රහාර මාලාවකට ලක්වීමට සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.