වෙනිසියුලා අධිකරණයට හෙලිකොප්ටර් බෝම්බයක්


වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත හෙලිකොප්ටරයකින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහය ත්‍රස්ත ප්‍රහාර තැතක් බව ජනපති නිකොලාස් මදුරෝ පවසයි.

වෙනිසියුලා රජය පවසන්නේ එරට පොලිස් නිලධාරියෙකු විසින් පියාසර කර ඇති මෙම හෙලිකොප්ටරය කර්කාස් නගරයේ වූ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඉහළින් ගමන් කරමින් ඒ වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

සමාජජාල මාධ්‍යවල පැතිරෙන වීඩියෝ දර්ශනවලට අනුව නගරය වටා කිහිප වරක් හෙලිකොප්ටරයක් කරකැවෙන අතර, පසුව වෙඩි හඬ, මරලතෝනි සමග විශාල පිපිරුම් හඬක් ඇසෙයි.

මෙම පොලිස් නිලධාරියා වීඩියෝ පණිවුඩයක් ඔස්සේ රජයට තර්ජනය කර ඇති බවද අනාවරණය වෙයි. ඔහු මෙම හෙලිකොප්ටරය පැහැරගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

කෙසේ වෙතත්, මේ බෝම්බ ප්‍රහාරයෙන් කිසිවෙකු ජීවිතක්ෂයට පත්වූයේද, තුවාල ලැබූවේද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා නොවන බව විදෙස් වාර්තා පවසයි.

වෙනිසියුලාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය මෙන්ම දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මේ වනවිට විරුද්ධ පක්ෂ කණ්ඩායම් මෙන්ම විවිධ පාර්ශ්ව රජයට එරෙහිව කැරලි ගැසීම අරඹා තිබේ. වෙනිසියුලාවේ වත්මන් ජනාධිපතිවරයා වෙත පවතින ජනතා කැමැත්ත බොහෝ සෙයින් පිරිහී ඇති බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles