බදුවලින් බේරීමේ උපායක් ලෙස විදේශීය බැංකුවල අනවසරයෙන් මුදල් සැඟවූ බවට චෝදනා ලැබූ 600කට අධික පුද්ගල නම් ලැයිස්තුවක් ඉන්දීය ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
ඒ අනුව, පුද්ගලයන් 627කගේ නාම ලේඛනයක් සීල් තබන ලද කවරයක බහා අධිකරණයට භාරදී ඇති බවද වාර්තා වෙයි.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ එම නම් ලැයිස්තුව විශේෂ පරීක්ෂණ මණ්ඩලයකට යොමු කරන බවය.
ඉන්දීය ධන කුවේරයන් බදුවලින් බේරීමේ උපායක් ලෙස මෙසේ රු.කෝටි 50,000ක් පමණ විදේශීය බැංකුවල තැන්පත් කර ඇති බව ඇස්තමේන්තු කර තිබේ.
මහජන කෝපය
එකී ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයන්ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් ඉන්දියානු සමාජය තුළ දැඩි කලකිරීමක් කෝපයක් පළ වෙමින් ඇතත්, අධිකරණය කියා සිටින්නේ, එම නම් ලැයිස්තුව ප්‍රසිද්ධ නොකරන බවයි.
එවැනි මූල්‍ය තොරතුරු ප්‍රසිද්ධ කරනු ලැබීම ජාත්‍යන්තර බදු ගිවිසුම් උල්ලංඝනය කිරීමක් වනු ඇතැයි ඉන්දීය ආණ්ඩුව පවසන අතර, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සමයේ ප්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ, අහිමි වෙමින් ඇති බදු අය කර ගැනීමේ පියවරක් වශයෙන් ඊනියා කළු සල්ලි ඇති තැන් සොයා ලුහුබඳින බවයි.
එවැනි මුදල් ආයෝජනය කර තිබෙන්නේ මොරීසස්, ස්විස් සහ බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් වැනි රටවල බැංකුවල බවද ඉන්දියාව අනාවරණය කරයි.
අගමැති නරේන්ද්‍ර මෝදි බලයට පත්වීමෙන් අනතුරුව පසුගිය ජුනි මාසයේදී මෙසේ කළු සල්ලි සෙවීමේ විශේෂ කාර්ය සාධක බලකායක් ආරම්භ කරනු ලැබ තිබේ.