වාර්තාගත ලැව්ගිනි හානියක් කැලිෆෝනියාවට බලපාලා


දකුණු කැලිෆෝනියා ප්‍රාන්තය තුළ පැතිර යන ලැව්ගිනි තත්ත්වය අතිශය දරුණු ස්වරූපයක් ගෙන ඇති බවත්, එය මේ වනවිට නිව්යෝක් නගරය තරම් විශාල භූමි ප්‍රදේශයක් වසාගෙන පවතින බවත් විදෙස් වාර්තා පවසයි.

පසුගිය සතිය තුළ වෙන්චූරා සහ සැන්ටා බාබරා යන ප්‍රදේශවල අක්කර 230,000ක භූමිය ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

දිනකට අක්කර 50,000ක් වසා ගනිමින් පැතිරෙන මෙම ලැව්ගිනි තත්ත්වය ප්‍රාන්තය තුළ වාර්තා වී ඇති පස්වැනි විශාලතම ලැව්ගිනි තත්ත්වය බවත්, දැඩි සුළං තත්ත්වය ගින්න වේගයෙන් පැතිරීමට හේතු වී ඇති බවත් බලධාරීහු පවසති.

ඉරිදා දිනය වනවිට ලැව්ගින්නෙන් 15%ක පමණ කොටසක් පාලනය කරගැනීමට හැකිවූ බව ගිනි නිවන හමුදාව කියා සිටියත්, එය 10%ක් ලෙස ඔවුන් යළිත් පවසා සිටියේ ගින්න පැතිරීම පාලනය අතිශය දුෂ්කර වී ඇති බැවිනි.

පසුගිය දෙසැම්බර් 04 වැනිදා සිට කැලිෆෝනියානු ප්‍රාන්තයේ පැතිර යන මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් ලක්ෂ 2කට පමණ උන්හිටිතැන් අහිමිව ඇති අතර, ගොඩනැගිලි 800ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ඒ අනුව, පසුගිය සතියක කාලය කැලිෆෝනියා ප්‍රාන්තය වෙළා ගනිමින් සිටින දැවැන්ත ගිනි ජාලා 6ක් මැඬපවත්වමින් සිටින අතර, තවත් කුඩා ලැව්ගිනි කිහිපයක්ද ප්‍රාන්තයේ පුරා වාර්තා වෙයි.

1_California 2 3



Recommended Articles