ලොස් ඇන්ජලීස් පාසලක වෙඩි තැබීමක් -5ක් තුවාලයි


ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පාසලක නව යොවුන් වියේ පාසල් සිසුන් දෙදෙනෙකු එම පාසලේම 12 හැවිරිදි දැරියක විසින් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා තිබේ.

ලොස් ඇන්ජලීස් හි වෙස්ට්ලේක් දිස්ත්‍රික්කයේ, සැල්වදෝර් කැස්ත්‍රෝ මැදි විදුහලෙහි එරට වේලාවෙන් පෙ.ව. 8.55 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

වෙඩි වැදීමට ලක්ව ඇති 15 හැවිරිදි සිසුවාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඔහු බරපතළ තත්ත්වයේ පසුවුවත් මාරාන්තික තත්ත්වයක් නොමැති බව රෝහල් වාර්තා පවසයි. එමෙන්ම, වෙඩි වැදීමට ලක්වූ අනෙක් තැනැත්තා 15 හැවිරිදි සිසුවියක වන අතර, අගේ ඉන ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.

එමෙන්ම, වයස අවුරුදු 11 සිට 30 දක්වා වූ තවත් තිදෙනෙකුද මෙම වෙඩි ප්‍රහාරයෙන් සුළු තුවාල ලබා තිබේ.

ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව තහවුරු කරමින් පවසා සිටියේ වෙඩි ප්‍රහාරය එල්ල කළ තැනැත්තිය වයස අවුරුදු 12ක පාසල් සිසුවියක බවයි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට හේතු වූ කරුණු පොලීසිය මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර නොමැති වුවත්, එම සිසුවි අත්අඩංගුවට ගත් බව පමණක් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, මෙය සුළුවෙන් නොතකන බව පවසන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සියුම් පරීක්ෂණයක් සිදුකරමින් පාසල් දරුවන්ගේ මානසික මට්ටම පරීක්ෂා කරමින් යම් සිසුවෙකුට හෝ සිසුවියකට උපදේශන සේවා අවශ්‍ය නම් කඩිනමින් ඒවා සපයන බවද කියා සිටියි.

කෙසේ වෙතත්, ඇමෙරිකාවේ පාසල් තුළ මෙවැනි වෙඩි තැබීමේ සිදුවීම් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, එරට ගිනි අවි පරිහරණය පිළිබඳ යළි යළිත් වඩාත් පුළුල් කතිකාවතක් අවශ්‍ය බවට මෙම වෙඩි තැබීමේ සිදුවීමද ඉවහල් වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 

1_Shoot



Recommended Articles