ලින්කින් පාර්ක් ගායක බෙනිංටන් ගෙල වැළලාගෙන


ඇමෙරිකාවේ ප්‍රමුඛතම රොක් සංගීත කණ්ඩායමක් වූ ලින්කින් පාර්ක් හි ප්‍රධාන ගායකයා ලෙස කටයුතු කළ චෙස්ටර් බෙනිංටන් සියදිව නසාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

41 වැනි වියෙහි පසුවූ බෙනිංටන්, කැල්ෆෝනියාවේ, ලොස් ඇන්ජලීස් හි තම පෞද්ගලික නිවසේ ගෙල වැළලාගෙන සිටියදී හමුවූ බව පොලීසිය තහවුරු කර තිබේ.

ඔහුගේ දේහය පොලීසියට හමුවී ඇත්තේ ඊයේ (20දා) උදෑසනය.

ඇමෙරිකාවේ තවත් රොක් සංගීත කණ්ඩායමක් වූ සවුන්ඩ්ගාඩ්න් හි ගායකයෙකු ලෙස කටයුතු කළ ක්‍රිස් කෝර්නෙල් සමග සමීප ඇසුරක් පවත්වා ඇති අතර, ඔහුද පසුගිය මැයි මාසයේදී සියදිවි නසාගෙන තිබුණි.

වර්ෂ 1996 දී බිහිවූ ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායම ලොව පුරා සංගීත ඇල්බම් මිලියන 70ක් පමණ අලෙවි කරමින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැගි සංගීත කණ්ඩායමකි. ඔවුන් දෙවරක්ම ග්‍රැමී සම්මානයෙන් පවා පිදුම් ලැබීය.

විවාහ දෙකක් සිදුකරගෙන තිබූ බෙනිංටන් දරුවන් හය දෙනෙකුගේ පියෙකු වන අතර, ඔහු මිය යනවිට සිය බිරින්ඳෑවරුන්ගෙන් වෙන්ව වාසය කළ බවද සඳහන් වෙයි.

පසුගිය කාලය පුරාවට ඔහු දැඩිව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට ඇති අතර, කුඩා අවදියේදී ළමා අපචාරයන්ට ලක්වූවෙකු ලෙසද සැලකෙයි.



Recommended Articles